කල්පිටියෙන් තවත් සේනා කෙනෙක් ? – ගොවින් වගා ගිනි තබයි

Share

දළඹු උවදුරක් හේතුවෙන් කල්පිටියේ ගොවිතැන් ගිනි තබා විනාශ කිරීමට ගොවින් පියවර ගෙන ඇත. මේ දළඹුවන් මේ වන විට වාර්තා වී ඇත්තේ කල්පිටිය නොරොච්චෝල ප්‍රදේශයේ පිහිටි ගෝවා වගාවකිනි.

මේ දළඹුවා සේනා දළඹුවාට බොහෝ සමානකම් ඇති බවද ගොවින් පෙන්වා දෙයි.

මේ දළඹුවා පිළිබද කල විමසීමේදී නොරොච්චෝල ප්‍රදේශය භාර කෘෂිකර්ම උපදේශක ප්‍රනීත් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ මේ වාර්තා වී ඇත්තේ සේනා දළඹුවා නොවන බවයි.

මේ දළඹුවා සේනා දළඹූ කුලයට (ස්පේඩෝප්ටෙරා) අයත් කියත් පණුවෙකු ලෙස හදුනා ගෙන ඇති බව ප්‍රකාශ කළ ප්‍රනීත් ගුණසේකර මහතා මේ දක්වා කල්පිටියෙන් සේනා දළඹුවන් වාර්තා වුයේ ස්ථාන දෙකකින් පමණක් බවද පැවසිය.

ඒ පාලකුඩාව හා නාවක්කාඩුව ප්‍රදේශයේ පිහිටි බඩ ඉරිගු වගා කළ ගෙවතු වගා දෙකකිනි.

කෘෂිකර්ම බලධාරීන් මේ දළඹුවා සේනා දළඹුවා නොවන බව ප්‍රකාශ කලත් ගොවින් පවසන්නේ මොහු සේනා දළඹුවාම බවයි. එයට ප්‍රධාන හේතුව වන්නේ රාත්‍රී කාලයේ පමණක් දක්නට ලැබෙන මේ දළඹුවා ඉතා ඉක්මනින් ගෝවා ගෙඩියක් කෑ දැමීමයි.

කල්පිටිය නොරොච්චෝලේ ගොවියෙකු වන චමින්ද නෝනිස් මහතා ප්‍රකාශ කළේ, මේ දළඹුවා තව දුරටත් පැතිර ගියහොත් කල්පිටියේ එළවලු වගාවට බරපතල තර්ජනයක් ඇතිවිය හැකි බවයි.

මේ දළඹු විශේෂය මිට පෙර දකින්නට නොලැබුණු බව ප්‍රකාශ කළ සසික පුෂ්පකුමාර ගොවි මහතා මේ දළඹුවන් ප්‍රථමයෙන් දකින්නට ලැබුනේ මිට සති කීපයකට පෙර දී තමාගේ ගෝවා වගාවෙන් බවද පැවසිය.

හෙතම වැඩිදුරටත් කියා සිටියේ මේ දළඹුවා බිට් ද කා දැමු බවයි. මේ වන විට නොරොච්චෝල ප්‍රදේශයේ වගා බීම් කීපයකින් මේ දළඹුවා සිටින බවට තමාට දැනගන්නට ලැබුණු බවද ශෂික පුෂ්පකුමාර මහතා පැවසිය.

මේ දළඹුවා සේනා වුවත්, නොවුවත් වගාවට සිදුකරන විනාශය සැලකිල්ලට ගත යුතු බව ගොවින් වැඩිදුරටත් පෙන්වා දෙති.

කල්පිටිය අර්ධද්වීපයේ අක්කර අට දහසක එළවලු හා පලතුරු වගා කරන අතර ගොවින් තුන්දාහස් පන්සියයකට ආසන්න පිරිසක් සිටි.

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පසුගිය දින කීපය පුරා  ප්‍රදේශයේ සැරිසරමින් මේ දළඹුවා හා සේනා දළඹුවා පිලිබදව ජනතාව දැනුවත් කිරීම් ද සිදු කරන ලදී.

Read more

Local News