නිවාස නොමැති හා අඩක් නිම කළ නිවාසවලට මුල්‍යාධාර

Share

ශ්‍රී ලංකාවේ ස්ථිර නිවාස නොමැති ධීවර පවුල්වලට නිවසක් ඉදි කර ගැනීම සදහා රු. ලක්ෂ තුනහමාරක මුදලක් මෙන්ම අඩක් නිම කළ නිවාසවල ප්‍රමුඛතාව මත සම්පුර්ණ කළ යුතු කොටස් නිම කිරීම සදහා රුපියල් ලක්ෂයක මුදලක් ආධාර වශයෙන් මුල්‍යාධාර පිරිනැමීමේ වැඩ සටහනක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

ඒ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර පවුල් 339කට නිවාස සකස් කර ගැනීම සදහා එක් නිවසකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දීම හා තවත් වැඩ සටහන් කිහිපයක් පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ බොහෝ නිවාස ව්‍යාපෘතිවලින් සිදු කෙරෙන්නේ අහිංසක ජනතාව බැංකුවල ණයකරුවන් බවට පත්කිරිම බවත්, ධීවර ප්‍රජාව කිසි දිනෙක නිවාස ණය උගුළේ සිරවීමට තමන් ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද අපේ රටේ විවිධ නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒවායින් සත පහක්වත් ආධාර වශයෙන් ලබා දෙන්නේ නැහැ. දෙන්නේ ණයමුදලක්. ඉන් සිදුවන්නේ කුමක්ද? එහි ප්‍රතිපලය තමයි දුප්පත් ජනතාව බැංකුවල ණයකරුවන් බවට පත් වෙන එක. ගෙවල් හදන්න ණය ගන්නවා කියන්නේ ඒවා ආදායම් ලැබෙන දෙයක් නොවෙයි. හැම කෙනෙකුටම හොද නිවසක ජීවත්වීමේ සිහිනයක් තිබෙනවා. නමුත් නිවාස ණය ගත්තාම හැමදාම ණයකරුවෙක්.

මේ නිසා මම ධීවර අමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගත්තට පස්සේ මගේ නිලධාරින්ට උපදෙස් දුන්නා අපේ රටේ වැසිකිළි පහසුකම් නැති ධීවර පවුල් කීයක් ඉන්නවාද? ස්ථිර නිවාස නැතිව පැල්පත්වල ජීවත් වෙන අය කොච්චර ඉන්නවාද? ඒ වාගේම අඩක් නිම කළ, ඉතිරි වැඩ කටයුතු කරගන්නට මුදල් නැතිව පවුල් කීයක් ඉන්නවාද කියළා හොයලා බලන්න කියලා. එහි ප්‍රතිපලයක් අනුව ස්ථිර වැසිකිළි පහසුකම් නැති ධීවර පවුල් 30,000ක් ලංකාව පුරා ඉන්නවා. ඒ අයට වැසිකිළියක් හදාගන්න රු. 30,000 බැගින් ලබා දීම ආරම්භ කළා. මේ වසර අවසන් වන විට ඒ සියළු දෙනාටම අපි අවශ්‍ය මුදල් දෙනවා.

ඒ වගේම තමයි ස්ථිර නිවසක් නැති ධීවර පවුල්වලට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙලක් දියවර පියස නමින් ආරම්භ කළා. එහි පළමු ගම්මානය කල්පිටියේත්, දෙවැන්න කල්ලරාව සාගරපුරත්, තුන්වැන්න හම්බන්තොටත් ආරම්භ කළා. මේ දෙන මුදල් සතපහක්වත් යළි ගෙවිය යුතු නැහැ. ඒකයි ඇත්ත තත්ත්වය.

මගේ ඉළක්කය කිසිසේත්ම ධිවර ප්‍රජාව රටට ණය නැති පිරිසක් බවට පත් කිරීමයි. ඔවුන් ඉහළ ආදායම් ලබන ව්‍යාපාරික පිරිසක් බවට පත් කළ යුතුයි. ධීවර ප්‍රජාවට මාළු කාරයා, මාළු කාරයාගේ කොල්ලා, මාළු කාරයාගේ කෙල්ල යැයි කියමින් සමාජයෙන් කොන් කිරීමේ සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. ධීවර කටයුතු කියන්නේ කර්මාන්තයක්. එහි නියැලෙන්නේ ධීවර කාර්මිකයින් පිරිසක් මිස මාළුකාරයින් නොවෙයි. අද ධීවර ප්‍රජාව තරම් ඉහළ ආදායමක් ඉපයිය හැකි වෘත්තියක් තවත් නැති බවයි මගේ අදහස. ඔවුන් රටටත් විශාල ආදායමක් උපයා දෙනවා. යැයිද අමාත්‍යවරයා කීය.

Read more

Local News