පනත් දෙකක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

Share

රජයේ ඉඩම් බැංකු පනත හා ඉඩම් විශේෂ විධිවිධාන පනත නැමති පනත් දෙක මේ රටේ අනාගතය කෙරෙහි ඉතාමත් තීරණාත්මකව බලපාන පනත් දෙකක් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ  (20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

මේ අතර අක්කර ලක්‍ෂ 12ක් ස්වදේශිකයාගෙන් උදුරා ගැනෙන, විදුලි කේබලයකින් රට දෙකට බෙදෙන, ස්වදේශික ජනතාව ඇමරිකාවේ අන්තේවාසිකයන් බවට පත් කරන, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අත්සන් කිරීමට ඉඩ දී නිහඬ විය හැක්කේ කාටදැයි ප්‍රශ්න කරන විමල් වීරවංශ මහතා, රටට ආදරය කරන සියලු ජනතාව ඊට එරෙහිව සමගි සම්පන්නව පෙළ ගැසිය යුතු බව අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් මේ බව පැවසීය.

“ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් වුයේ ඔහු විසින් කැබිනට් මණ්ඩලයට ගෙනා ස්වදේශිකයාගේ ඉඩම් අයිතිය අහිමි කරන ‘ඉඩම් පනත් කෙටුම්පත් දෙක’ කියා.

ඒ පනත් කෙටුම්පත් දෙක මා අතේ තිබෙනවා. එකක් රජයේ ඉඩම් බැංකු පනත (State Land Bank Act) අනෙක ඉඩම් (විශේෂ විධිවිධාන) පනත. මේ පනත් දෙක මේ රටේ අනාගතය කෙරෙහි ඉතාමත් තීරණාත්මකව බලපාන පනත් දෙකක්.

ඉඩම් (විශේෂ විධිවිධාන) පනතින් කරන්නේ එක පුද්ගලයකුට ඉඩම් අක්කර 50කට වඩා සන්තකයේ තබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීම. රාජ්‍ය ඉඩම් බැංකු පනතින් කරන්නේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන සඳහා තිබෙන ඉඩම් සියල්ල මේ රාජ්‍ය ඉඩම් බැංකුව යටතට පවරා ගැනීම.

ඉහත පනත් දෙකම එන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නැමති ආයතනයේ කොළඹ කාර්යාලය සැකසූ මේ විශ්ලේෂණ වාර්තාව අනුවයි.

(විශ්ලේෂණ වාර්තාව මාධ්‍යයට පෙන්වයි). මේ වාර්තාවෙන් කියනවා, ‘ලංකාවේ ඉඩම් වෙළඳපොළ සක්‍රිය කළ යුතුයි. ලංකාවේ ඉඩම් අපහසුවකින් තොරව විදේශිකයකුට මිලදී ගැනීමට ඉඩ දිය යුතුයි’ කියා. ඊට අදාළ සියලු ක්‍රියාමාර්ග මේ වාර්තාවේ තිබෙනවා.

එදා මෙහෙම ආපු පනත් දෙකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විරුද්ධත්වය නිසා කැබිනට් අනුමැතිය ලැබුණේ නැහැ. නමුත් අද කැබිනට් අනුමැතිය අරගෙන මේ පනත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා.“

Read more

Local News