අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් විනාශ කෙරේ

Share

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද(01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් මේ සඳහා පියවරගෙන තිබෙන අතර එම අවස්ථාව දැකබලා ගැනීමට ජනාධිපතිතුමා ද එක්වීමට නියමිත ය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු කෙරෙයි.

පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සඳහා කුමක් සිදුවන්නේ ද යන්න ජනතාව තුළ ඇති ගටලුවට විසඳුමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර මේ ආකාරයට පසුගිය වසරේ ජනවාරි 15 වැනිදා කොකේන් නැමැති මත්කුඩු කිලෝග්‍රෑම් 926ක් ප්‍රසිද්ධියේ විනාශ කරන ලදී.

එසේ විනාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් 09 වැනිදා කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයයි.

අද ප්‍රසිද්ධියේ විනාශ කරනු ලබන්නේ මෙරට තුළ දී අත්අඩංගුවට ගත් මත්කුඩු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම අප්‍රේල් 03 වනදායින් පසු නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් තවදුරටත් ඉහළ නංවමින් මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ තවත් වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

Read more

Local News