පාසල් ළමුන්ට පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක්

Share

ලෝක ආහාර වැඩසටහන හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව තඹුත්තේගම කලාපයේ පාසල් 61 ක ළමුන් 16000 කට පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශයට මඟින් ක්‍රියාත්මක කරනු ලබන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

කලංකුට්ටිය සහල් සබලකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යතුමන් එහි සිදුවන කාර්යය නිරීක්ෂණය කළ අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය.

“මෙතෙක් කල් අපි ඒ සහල් පිටින් ගෙනල්ලා තමයි ඒ අවශ්‍ය පෝෂදායි මල්ල ලබා දෙන්න කටයුතු කලේ, දැන් අපි අපේම ස්ථානයක, ගුණාත්මක වී වර්ග වී අලෙවිමණ්ඩලයෙන් හෝ එම වී වගා කරන අයගෙන්ම අරන් මේ ස්ථානයේදීම සහල් බවට පත් කරලා පැකට් කරලා මේ ප්‍රදේශයේ පාසල් වලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ලබන මැයි මාසයෙන් පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම තියෙන පාසල් 570 කට වගේ මේ දිවා ආහාර වේල ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

අනතුරුව ලංකාව පුරාම පාසල් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා අවශ්‍ය සහල් සහ උළුදු පිටි ආදී වෙනත් ධාන්‍ය පිටි වර්ග නිෂ්පාදනයටත් මෙම ස්ථානයේ හැකියාව තියෙනවා.

පාසල් දරුවන්ට අමතරව ප්‍රදේශවාසීන්ටත් මෙම ස්ථානයේ නිෂ්පාදනයන් මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න,ඒ තුළින් මේ ප්‍රදේශයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අඩු කර සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් බිහි කරන්න යැයි පැවසීය.“

උතුරු මැද පාසල් දරුවන් 16000ක් සඳහා නොමිලයේ සබලකරණය කරන ලද සහල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනාගාරය අනුරාධපුර  ගල්නෑව කලංකුටිටියදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ජාතික ආහාර ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ගල්නෑව, කළංකුට්ටිය නිෂ්පාදනාගාරයේදී මෙම සහල් සබලකරණ ව්‍යාපෘතියේ සහල් නිෂ්පාදනය සිදු කරනු ලබයි.

ලෝක ආහාර වැඩසටහන සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය සමග එක්ව දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල දැමීම උදෙසා නොමිලේ සබලකරණ ලද සහල් ලබා දීමේ ප‍්‍රථම අදියර අනුරාධපුර තඹුත්තේගම අධ්‍යාපන කලාපයෙන් ඇරඹිණි.

මේ යටතේ පාසල් 61ක් ව්‍යාපෘතිය යටතේ තෝරාගෙන ඇත.

සබලකරණයෙන් යුතු සහල් නොමිලයේ ලබාදීමේ අරමුණ වන්නේ සෑම කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයෙකුට හා වයස අවුරුදු 5ට අඩු සෑම දරුවන් 4 දෙනකුගෙන් එක් අයෙකුට ප‍්‍රමාණවත් ෆෝලික් අම්ලය පරිභෝජනයෙන් දුරස්වීම හේතුවෙන් රක්තහීනතාවට ගොදුරුවන බවත්, අනාගතයේ ඉන් දරුවන් වලක්වාගැනීම බව එහිදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

මෙම වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන රුපියල් මිලියන 53ක වියදමක් දරයි.

පාසල් සඳහා සහල් ප‍්‍රදානය කිරීමේ සංකේතවත් උත්සවය අනුරාධපුර හෙරිටේජ් උත්සව ශාලාවේදී අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමෙන් අනතුරුව මෙම නිෂ්පාදනාගාරය කලංකුට්ටියේදී අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මඟින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන අතර, මූල්‍ය හා සම්පත් දායකත්වය ලෝක ආහාර වැඩසටහන මඟින් සපයයි.

පර්යේෂණ හා තාක්ෂණ දායකත්වය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මඟින් ලබා දෙනු ලබයි.

Read more

Local News