බල්ලෝ බිරුවත් ගැල ඉස්සරහට යන බව රාජිත කියයි

Share

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය සංවර්ධනය සඳහා රුපියල් බිලියන 550 ක මුදලක් වියදම් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

විදේශ ව්‍යාපෘති මඟින් රුපියල් බිලියන 450 ක් ද, රාජ්‍ය මුදල් මගින් රුපියල් බිලියන 100 ක් ද සංවර්ධන ව්‍යාපෘති සඳහා වියදම් කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න පදනම සංවිධානය කළ බේරුවල ආසනයේ තරුණ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ  බව පැවසීය

“මම උදේ සිට රාත්‍රී වන තුරු රෝගී ජනතාව වෙනුවෙන් අවංකව සුභසාධන කටයුතු සිදු කරනවා. තමන් අවංක නම් කොතරම් කෑ ගැසුවත් ගැල ඉදිරියට යනවා. හැබැයි බල්ලෝ බුරන්න පුළුවන්.

බල්ලෝ බිරුවත් ගැල ඉදිරියට යනවා. සමහර විවේචන තාවකාලිකයි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතුව නිර්මාණය කළ යහපාලන රජය තුල අපි වැඩ කළේ ඉතා අමාරුවෙන්.

නමුත් දැන් ජාතික රජය නොමැතිව වත්මන් රජය සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. ජාතික රජයක් පිහිටුවීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද උත්සාහ කළා. නමුත් අපේ රටේ ජාතික රජය ඊට පෙර විනාශ වුනා. ජාතික රජයක් ස්ථාපිත කළේ රට හදන්නයි. බලය ලබාගන්න නොවෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල අපි කළ ක්‍රියාකාරකම් ජනතා විමුක්ති පෙරමුණත්, පොදුජන පෙරමුණත් අගය කළා. අග්‍රාමාත්‍යවරයා ද මට ප්‍රකාශ කළේ සෞඛ්‍යයේ ගැටළුවක් නොමැතිවීම ඉතා වැදගත් බවයි. බේරුවල ආසනය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමගි දේශපාලන සංස්කෘතියක් බිහි කර තිබෙනවා.”

“කුමන රජයක සිටියත් මම ජනතාව වෙනුවෙන් සේවය කරනවා. ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. මට ලබාදුන් අමාත්‍යාංශවල නොමැකෙන සේවාවන් ඉටු කළා.

එක ප්‍රතිපත්තියක සිට මම ජනතාවට සේවය කරනවා නමුත් ප්‍රතිපත්ති ගැන කථා කරන පුද්ගලයාට එකතු වෙලා පහර ගහනවා. නමුත් මගේ ප්‍රතිපත්ති නිසා කිසිම ලේ වැගිරිමක් සිදු වී නැහැ.

සමහර ඒවා ජනප්‍රියයි. සමහර ඒවා ජනප්‍රිය නැහැ. හමුදා මූලස්ථාන ඉඩම, වරාය නගර ඉඩම අනූනව අවුරුදු බද්දට ලබාදෙන්න හැකි වූයේ මගේ ඉඩම් ප්‍රතිපත්තිය නිසයි. නමුත් එක්සත් ජාතික පක්ෂය පෞද්ගලීකරණය කරනවා කියා චෝදනා කරනවා. එය බොරු. හරි දෙයක් කළොත් ඉදිරියටත් එය වලංගුයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේ ඉඩම් අක්කරයක් අලෙවි කළේ රුපියල් 05 ටයි. පර්චස් 20 ඉඩමක් සත 20 බැගින් මිතුරන්ට ලබාදී තිබුනා.

මෙම ඉඩම් කොල්ලය මම නතර කළා. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා ඉඩම් ඇමැති වූ පසු “බිම්සවිය”  කියා ව්‍යාපෘතියක් දියත් කළා. ඉන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් “බිම්සවිය” ආරම්භ කළත් එය නතර කෙරුනා. ඒ සටන් පාඨ දේශපාලනය නිසා.

“බිම්සවිය” වැඩසටහනට ලෝක බැංකුව තමයි සහයෝගය ලබාදුන්නේ. නමුත් පසුව සටන් පාඨ දේශපාලනය නිසා ලෝක බැංකුව එම ව්‍යාපෘතිය නතර කළා. වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා “බිම්සවිය” ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, එය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

Read more

Local News