නාමල්ගේ නඩුව කල් යයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්  පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය ජුලි මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(03) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නාමල්රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බැවින් ඔහුට අයවැය විවාදයට සහභාගි වීමට ඇති නිසා අද දින විභාගය කල් දමන ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ජුලි 07 වනදා දක්වා කල් දැමූ අතර එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම්කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට අධිකරණය දැනටමත් තීරණය කර තිබේ.

Read more

Local News