ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් ජනතා පැතුමක් ප්‍රතික්ෂේප කරලා

මෙවර අයවැය ලේඛනය ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සියලු දෙනා ඒකරාශි වී පරාජය කරාවියැයි ජනතාවගේ දැඩි විශ්වාසයක් පැවැති බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස් මහතා පවසා සිටියි.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනතා පැතුම ප්‍රතික්ෂේප කළ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

සියම් මහා නිකායෙ අස්ගිරි පාර්ශවයේ මාතලේ දීසාවේ උපප්‍රධාන සංඝනායක ශ්‍රී රාහුල හිමියන්  අද (07) දින බැහැ දැකීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හිටප අමාත්‍යවරා මේ බව සඳහන් කළේය.

අයවැය ලේඛනය පරාජය කිරීම සඳහා තිබුණු හොඳම අවස්ථාව ගිලිහී යෑම සම්බන්ධයෙන් දැඩි කණගාටුවෙන් පවතින බවය ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි එම මන්ත්‍රීවරුන් ඊට පෙර අයවැය යෝජනාවට විරුද්ධව දැඩි විවේචන එල්ල කළ බව ද හෙතෙම කියා සිටියේය.

මේ රටේ එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක අවශ්‍යතාවය පවතින බවත් ඉදිරියේදී එවැනි බලවේගයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් අප්‍රෙල් 10 දින එම සාකච්ඡාව තවදුරටත් ක්‍රියාත්මක වන බවද කියා සිටියේය.

වර්තමානයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය සහ වචන ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මතුව ඇති බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මේ මස  08 දින වන විට දකුණු පළාත් සභාවේ කාලය අවසන් වන බවත් අප්‍රේල් මස 20 වන දින වන විට බස්නාහිර පළාත් සභාවේ කාලය අවසන් වන බවත් අප්‍රේල් අවසන් වන විට පළාත් සභා නවයකකින් අටක නිල කාලය අවසන් වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මේ හේතුව නිසා පළාත් සභා කාර්ය භාරයන් සියල්ල අකර්මන්‍ය වී තිබෙන බවද ජී .එල්. පීරිස් මහතා සඳහන් කළේය.

පළාත් සභා ඡන්ද නොපවත්වන්නේ අන්ත පරාජයක් රජය ලබන බව දන්නා බවද හෙතෙම කියා සිටියේය.

වත්මන් රජය පරාජය කිරීම සඳහා ජනතාව පුණ පුණා බලා සිටින බව සඳහන් කළ ජී එල් පීරිස් මහතා මැතිවරණ කල්දැමූ කිසිම අයෙකුට සුගතියත් ඇති නොවන බවත් එවන් පිරිස් හට ජනතාව මීට පෙර පාඩම් කියා දී තිබෙන බව ද සඳහන් කළේය.