පින්නවල අලි ඔලුවල තෙල්ගායි

Share

සිංහල අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය අනුව අද(17) පූර්ව භාග 07.40 ට යෙදුනු නැකතට පින්නවල අලි අනාථාගාරයේ අලින්ගේ හිස තෙල් ගෑම සිදු කර තිබේ.

සෙත් පිරිත් සජ්ජායනා මැද විදුලිබල ශක්ති පුනර්ජනනීය රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ඇතුලූ විශේෂ ආරාධිත අමුත්තන් අතින් මෙම චාරිත්‍රය සිදු කර ඇත.

පළමුවෙන් හිස තෙල් ගෑම සිදු කර ඇත්තේ එල්.ටි.ටි. නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් ළඟ සිට මුදා ගත් වයස අවුරුදු 30 ක් පමණ වන මැණිකා ඇතින්නගේ සහ වයස අවුරුදු 52 ක් පමණ වන ලීලා යන හස්තියාගේය. ඉන් අනතුරුව සෙසු හස්තියන්ගේ හිස තෙල් ගෑම ද සිදු විය.

හිස තෙල් ගෑමෙන් පසුව රසවත් පළතුරු අනුභව කිරිමටද අලි ඇතුන්ට ලැබුණි. තවද අලි ඇතුන් සඳහා කිරි බත් ද පිලියෙළ කර තිබේ.

මෙ සඳහා සකස් කර තිබුණු විශේෂ කිරිබත විදුලිබල ශක්ති පුනර්ජනනීය රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ඇතුලූ ආරාධිතයන් අතින් අලි ඇතුන්ට ලබා දිම සිදු විය.

මෙම අවස්ථාවට විශාල නරඹන්නන් පිරිසක්ද පැමිණ සිටි අතර විදේශිකයන්ද විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

හිස තෙල් ගෑමෙන් පසුව අලි ඇතුන් ස්නානය සඳහා මා ඹය වෙත රැගෙන යෑමෙන් පසුව උත්සවයේ වැඩ කටයුතු නිමා විය.

1975 වසරේ ආරම්භ කරන ලද පින්නවල අලිඅනාථාගාරය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධයක් උසුලන අලි ඇතුන් පිළිබඳ හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව දැක ගැනිමට ඇති ලංකාවේ හොඳම ස්ථානයක් හැටියට ලෝක ප්‍රසිද්ධියක් උසුලන තැනකි.

පින්නවල අලි අනාථාගාරයේ මෙ වන විට අලි ඇතුන් 88 ක් රැක බලා ගැනිම සිදු වෙන අතර දෛනිකව දෙස් විදෙස් සංචරකයන් විශාල පිරිසක් මෙහි පැමිණෙති.

Read more

Local News