ක්ෂය රෝගය තුරන් කිරීමේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව

Share

ක්ෂය රෝගය තුරන් කිරිම අරමුණු කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුළුව පසුගිය දෙ දින රුසියාවේ මොස්කව් හීදි පැවැත්විණි. මෙම සමුළුවේ සත්කාරකත්වය දරන්නේ රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයයි.
ඊයේ (17) දින පැවැති සැසිවාරය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එක්ව සිටි අතර මෙහිදී ක්ෂය රෝගය තුරන් කිරීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දක්වන ලදි.
“තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය තුරන් කිරීම – බහුපාර්ශ්වික ප්‍රතිචාර” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැති අතර, වසර 2030 වන විට ක්ෂය රෝගය සම්පුර්ණයෙන් තුරන් කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ප්‍රතිඵලදායී ක්‍රියාමාර්ග ගැනිමට මෙහිදී කටයුතු කෙරිණි.
මෙම සැසිවාරයට සහභාගිව සිටි වෙනත් රටවල නියෝජිතයින් ශ්‍රී ලංකාව ක්ෂය රෝගය තුරන් කිරීම අරමුණු කර ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, මැලේරියා රෝගය තුරන් කිරිමට අදාලව ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳ සහ වත්මන් සෞඛ්‍ය සේවාවන්ගේ ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියේය.
සැසිවාරය අවසානයේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමු වී ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අගයා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සුබපැතුම් එක් කරන ලදි.

Read more

Local News