මඩින් නොව, ගොඩින් එන්න රාජිතගෙන් අභියෝගයක්

Share

දුප්පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සෞඛ්‍ය සේවාවන් විවේචනය කරන පුද්ගලයින්ට “මඩින් නොව ගොඩින්” එන ලෙස තමන් අභියෝග කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට දෙවන වරටත් පත් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද(01) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගැනීම සඳහා උත්සවයක් ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ පැවැත්විණි.

මහා සංඝරත්නය ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණ සිටි ජනතාවට ද සිය ආචාරය පුද කරන ලදි.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා මහා සංඝරත්නය සහ ජනතාව ලබාදෙන ආශිර්වාදය මට ඉතා වැදගත්.

2015 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යධූරයේ රාජකාරී ආරම්භ කළ මට දේශපාලන චණ්ඩ මාරුතවලට ද ගොදුරුවෙමින් ජනතාවට සේවය කිරීමට සිදු වුනා.

දුප්පත් ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය සේවාව තුල සිදු කළ හැකි සෑම දෙයක්ම ආරම්භ කළා. මා විසින් ආරම්භ කළ හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ස් ලබාදීම සහ සුවදිවි සහ සුවනාරි මධ්‍යස්ථාන 1700 ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද ආරම්භ කළා.

අපි සිදු කළ සෞඛ්‍ය සේවාවන්ට ප්‍රචාරය අවම වුනත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවශ්‍ය ප්‍රචාරය හොදට සිදු කළා. සුවදිවි සහ සුවනාරි මධ්‍යස්ථානවලින් ජනතාවට සියයට 35 ක ප්‍රතිලාභ ලබාදී ඇති අතර, එය සියයට 100 දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

සුවදිවි සහ සුවනාරි මධ්‍යස්ථාන ඉන්දියාව පුරා ලක්ෂ එකහමාරක් ස්ථාපිත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැතිවරණයෙන් ජයගනු ලැබූයේ දුප්පත් ජනතාව කළ සේවය නිසයි. ජාතිකවාදයට වඩා ඔහුගේ ජයග්‍රහණයට හේතු වුයේ එම සේවාවයි.

සුවදිවි සහ සුවනාරි මධ්‍යස්ථාන දැකබලා ගැනීම සඳහා ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ ප්‍රකාශ කර සිටියේ මෙවැනි මධ්‍යස්ථාන ලොව පුරා ස්ථාපිත කළ යුතු බවයි.

2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේ ලොව හොදම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බවයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් අප රටේ මම ක්‍රියාත්මක කරන්නේ විවෘත ආර්ථිකය තුලයි. සාමාජවාදී රාජ්‍යයක සෞඛ්‍ය අමාත්‍යධූරය හොඹවන්නේ නම් මීට වඩා සේවාවක් ඉටු කළ හැකියි.”

“සෞඛ්‍ය සේවාව තුල මම ඉටු කළ කාර්යයන් දේශපලන කොණයෙන් බලලා විවේචනයට ලක් කරනවා. රජයට පවහර ගහනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි තනතුරු ලබාදෙන්නේ දේශපාලන කෝණයෙන් බලන්නේ නැතිවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සාමාජිකයින් 35 ක් සහභාගි වූ රැස්වීමේ දී මට උපසභාපතිවරුන් අතර පළමු උප සභාපතිධූරය ලබාදුන්නා. මගේ උපන් දිනය දා ලැබුනු එම උපසභාපතිධූරය ත්‍යාගයක් ලෙසයි මා සළකන්නේ.

විධායක කමිටු සාමාජිකයින් ද ලංකාවේ සෞඛ්‍ය සේවාව හොඳ සෞඛ්‍ය සේවාවක් බව පිළිගනු ලැබූවා. මෙම උපසභාපතිධූරය හිමිවන්නේ අප විසින් ඉටු කළ වැඩකොටස දෙස බලයි. මෙම තනතුර රටට කීර්තියක්.

අපි ගන්නා තීන්දු තීරණ වල ප්‍රතිඵල දුප්පත් ජනතාවටයි. එම තීන්දු තීරණ වල ප්‍රතිඵල ඉදිරියේ දී ජනතාවට ලබාගන්න පුළුවන්. මෙම ගමන විවිධ බාධක මැද තමයි සිදු කළේ. දුප්පත් ජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාවන් එම බාධක බිද දමමින් ඉදිරියටම සිදු කරනවා. මම දේශපාලනයට පැමිණියේ ධනවතුන්ට සේවය කිරීමට නොව දුප්පතුන්ට සේවය කිරීමටයි.

මෙම සේවාව ඉටු කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය ලබාදෙන සහයෝගය මම අගය කරනවා.”

“මම හදවතට එකඟව රට වෙනුවෙන් සේවය කරනවා. මම අවංකව වැඩ කරන්නේ. අපගේ පරමාර්ථ අමතක කරන්නේ නැහැ. දේශපාලනයට පැමිණි හේතුව මම හොදින් දන්නවා. ලබන අගෝස්තු 25 වන විට පාර්ලිමේන්තු දිවියට වසර 25 ක් සපිරෙනවා. මෙම සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් සමගයි.

ඇතැම් නිලධාරීන් බයෙන් තීන්දු තීරණ ගන්නවා. පවතින නීතිරීති වලට යටත් වෙලාම වැඩ කරන්න බැහැ. නීති රීති වල පවතින බාධා ඉවත් කර ගනිමින් ජනතාවට සේවය කළ යුතුයි.

ඒ සෞඛ්‍ය සේවාව දියුණු කිරීමටයි. රටක සෞඛ්‍ය දියුණු කිරිම එරට ආර්ථීක සංවර්ධනයට හේතුවක් බව ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබෙනවා. ධනපතීන්ට උදවු කිරීමට බොහෝ පිරිසක් සිටියත්, දුප්පත් ජනතාව සේවය කරන්න සිටින්නේ අවම පිරිසක්. මම ජනතාව කෙරෙහි විශ්වාසය තබා සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මට ලබාදුන් තනතුර අයිතිවන්නේ මාව විශ්වාස කරමින් පාර්ලිමේන්තුවට යැවූ ජනතාවටයි. මම රැකියා පවා ලබාදී තිබෙන්නේ දුප්පත් ජනතාවටයි.

විවේචන මට හොදට පුරුදුයි. එම විවේචන මත මම ඉදිරියට ගමන් කරනවා. මඩ ගහන අයට මම කියන්න කැමැතියි මඩින් නොව ගොඩින් එන්න කියලා. හොඳ වැඩ කරන අයට බැනුම් අහන්න සිදු වෙනවා. අපි සෞඛ්‍ය සේවාවට ඉටු කළ වැඩකොටස ජනතාවට තේරෙන විට තවත් කාලයක් ගත වෙනවා. මට ඉටු කිරීමට නොහැකි වන සේවාව මගේ පුතා ඉටු කරන බව මට විශ්වාසයි.”

Read more

Local News