අන්තවාදීන්ට දේශපාලන රැකවරණය දුන්නේ කවුද?

Share

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු දේශපාලන හෝ බිස්නස් ඩිල් එකක් බවට පත් නොවිය යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබඳ සොයා බැලීම සඳහා පක්ෂ ක්‍රියාකිරීන් සමඟ පැවතී සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුල ජනතා ආරක්‍ෂාව තහවුරු කිරීමට නම් අනිවාර්යෙන්ම පුර්ණ පරීක්ෂණයක් සිදු කල යුතුයි.

එසේ නොමැතිව ජනතාවගේ බිය සැක මුළුමනින්ම තුරන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයෙන් පසු මුලික පියවර අනුගමනය කරමින් ජනතා ආරක්‍ෂාව සඳහා අවශ්‍ය මුල් අදියරේ කටයුතු සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල පරීක්ෂණ කටයුතු සඳහා බලපෑම් එල්ල කල බවටත් අන්තවාදයට පදනම සැකසු බවටත් ප්‍රබල දේශපාලන චරිතයන්ට චෝදනා එල්ල වී තිබෙනවා. රිෂාඩ් බදියුදීන් කැබිනට් අමාත්‍යවරයා, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාත් සාලි යන ආණ්ඩුකාරවරුන් ඒ අතර සිටීම විශේෂයි.

ඒ වගේම මේ ප්‍රහාරය දින දෙක තුනකින් හෝ මාස දෙක තුනකින් සැලසුම් කල හැකි දෙයක් නොවෙයි. එසේනම් මෙහි ආරම්භය කොහෙද? මේවට පසුබිම හැදුවේ කවුද? අන්තවාදීන්ට දේශපාලන රැකවරණය දුන්නේ කවුද?

මෙම ප්‍රහාරයට කලින් සිදුකල පරීක්ෂණය කසියම් පුද්ගලයෙකුගේ බලපෑමෙන්  නැවත්තුවද? යන කරණා පිලිබඳ සොයා බැලිය යුතුයි.

අනෙක් වැදගත්ම කාරණය තමයි ප්‍රහාරකයන් සහ ඔවුන්ගේ සගයන් අපවිසින් විනාශ කලත්, අත්අඩංගුවට ගත්තත් තවත් අන්තවාදී මතධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඒ පිළිබඳව අපට තිබෙන තක්සේරුව කුමක්ද?

මෙම සිදුවීම පිලිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මේ වන විට රැස්වෙලා තිබෙනවා. ප්‍රහාරය වනවිට ආරක්ෂක මණ්ඩලයත් මාස දෙකකින් රැස් වී නොමැති බවයි එහිදී හෙළිවෙලා තිබෙන්නේ. එයින් ගම්‍ය වෙනවා ජාතික ආරක්ෂාව පිලිබඳ තිබෙන තක්සේරුවේ පරිමාව.

මේ සිද්ධියෙන් පසු ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා එහි වාර්තාව එන්න තිබුනේ සති දෙකකින් සති හයක් ගිහිල්ලත් ඒ වාර්තාව තවම නැහැ.

ඒ වගේම ජනාධිපතිවරයා කිව්වා ආරක්ෂක ව්‍යුහයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් ඇතිකරනවා කියලා.

නමුත් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඉවත් කිරීම හැරෙන්නට ප්‍රබල ව්‍යුහාත්මක වෙනස්කමක් සිදු කර නැහැ.

පාස්කු ප්‍රහාරය පිලිබඳ සිදුකරන පරීක්ෂණ කිසියම් පුද්ගලයෙකුගේ හෝ පක්ෂයක දේශපාලන අනාගතය තීරණය කරන්න පදනම් කරන්න එපා.

ආණ්ඩු හදන්නේ කොහොමද? ආණ්ඩු තියාගන්නේ කොහොමද? ජනාධිපතිවරණයේදී හිට ගන්නේ කොහෙද? කියන එක ජනතාවට වැදගත් නැහැ.

අවසන් වශයෙන් කිව යුතුව ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙසිය විසි පස් දෙනා පාස්කු ප්‍රහාරයෙන් තැතිගත් ජනතාවට සාධාරණයක් ඉටු නොකළහොත් ඉදරි මැතිවරණ වලදී ප්‍රභල ජනතා ප්‍රහාරයකට ලක්වනු ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.”යනුවෙන් ප්‍රකාශ කළේය.

Read more

Local News