සහරාන්ගේ පල්ලි හැදු ඉංජිනේරුවරයකු දෙහිවල දී අත්අඩංගුවට

Share

සහරාන් හසීම් හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් හොරොව්පොතාන පත්තෑව සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවල තව්හීත් ජමාත් පල්ලි ඉදිකිරීම සඳහා මුදල් ලබාදුන් ඉදිකිරීම් ඉංජිනේරුවරයකු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය කියයි.

සහරාන් හසීම් සහ තව්හීත් ජමාත් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට මීට පෙර හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලබාගත් තොරතුරු මත හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දෙහිවල ප්‍රදේශයට ගොස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 51/බී.කවුඩාන පාර දෙහිවල ලිපිනයෙන් පදිංචි මොහොමඩ් සහිම් නසුර්දින් (53) නමැති සැකකරුවෙකුය.

මොහු වසර දහයකට වැඩි කාලයක් සෞදි අරාබි රටේ ඉදිකිරීම් ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කර පසුව ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇති බව පොලිසිය කියයි.

සහරාන් හසීම් ගෙ හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශ බාර නායකයා ලෙස හඳුනාගෙන ඇති දැනට විදේශ ගතව සිටින අබු බකර් නැමැත්තා සමඟ ද මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පල්ලි ඉදිකිරීම සඳහා මෙතරම් විශාල මුදලක් සැකකරුට ලැබුණේ කෙසේ ද එම මුදල් බෙදාහැරීම සිදු කළේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමෙන් තාවකාලික විධිවිධාන පනත යටතේ පොලිසියට ලැබී ඇති බලතල අනුව පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.

Read more

Local News