උතුරු නැගෙනහිර ඉදි කෙරුණු නිවාස ජනතා අයිතියට

Share

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිවාස 10000 ක් ඉදි කිරීමේ වැඩසටහනෙහි මුල් පියවර යටතේ ඉදි කෙරුණු නිවාස ජනතාව වෙත පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාව සංකේතවත් කරමින් අද (02) පෙරවරුවේ නිවාසලාභීන් පස් දෙනෙකු වෙත නිවාස පිරිනැමීම යාපනයේ නැදුන්කර්නි ප්‍රදේශයේදී සිදු කෙරිණි.

යාපනයට ආවේනික සාම්ප්‍රදායික සංස්කෘතික ලක්‍ෂණ පිළිබිඹු කරමින් අගමැතිවරයා ඇතුළු ප්‍රධාන ආරාධිතයන් පිළිගැනුණු අතර නිවෙස් විවෘත කිරීමෙන් අනතුරුව අගමැතිවරයා විසින් නිවැසියන් වෙත මුළුතැන්ගෙයි උපකරණ කීපයක් ද පරිත්‍යාග කරන ලදී.

ඔවුන්ගේ වත්මන් ජීවන රටාවන් හා පුද්ගලික තොරතුරු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

2019 ජනවාරි මාසයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මේ වනවිට නිවාස 4750 ක් ඉදිවෙමින් පවතී.

උතුරු පළාතේ දිස්ත්‍රික් 05 තුළ නිවාස 3600 ක් හා නැගෙනහිර දිස්ත්‍රික් 03 තුළ නිවාස 1150 ක් මේ වනවිට ඉදිකෙරෙමින් තිබේ.

එහි දෙවන අදියර ලෙස නිවාස 5250 මැයි මස තුන්වන සතියේ සිට ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබේ.

ඒ අනුව උතුරු පළාතට තවත් නිවාස 3900 ක් සහ නැගෙනහිර පළාතට තවත් නිවාස 1350 ක් ඉදිරියේදී ලබාදීමට නියමිතයි.

Read more

Local News