විදෙස් හමුදාවන්ට ලංකා භූමිය පාවා දෙන්නේ නෑ

Share

විදේශීය හමුදාවන්ට මෙරට භූමිය කිසිදු අවස්ථාවක පාවා නොදෙන බවත්, විදේශීය හමුදාවන්ට වෙනම ස්ථාන පිහිටුවන කිසිදු ගිවිසුමක් රජය ක්‍රියාත්මක නොකරන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මොණරාගල දිස්ත්‍රික්කයේ, මාරාව ප්‍රදේශයේ ඉදිවූ “මුප්පනේ රටේරාළ ගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (02) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 196 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

මෙරටට විදේශීය හමුදාවන් ගෙන්වන ගිවිසුම් ප්‍රතික්ෂේප කරන බව මහනායක මාහිමිපාණන් වහන්සේලා සහ අගරදගුරුතුමන් කර ඇති ප්‍රකාශය තමන් අනුමත කරන බව පැවසූ අමාත්‍යවරයා, කුමන් හෝ හේතුවක් මත එවැනි ගිවිසුම් අත්සන් කරන්නට කවුරුන් හෝ කටයුතු කරනවානම් එය ජනතාවට හෙළිකර රටක් ලෙස එම අධිරාජ්‍යවාදී බලවේග පරාජය කිරීමට, එදා කැප්පෙටිපොළ විරුවා ඇතුළු සෙන්පතිවරුන් සටන් කළා සේ ජාති ආගම් කුලමල පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

ඌව වෙල්ලස්ස සටනට නායකත්වය ලබා දුන් කැප්පෙටිපොළ විරුවා ඇතුළු වීරෝදාර සෙන්පතිවරුන්ගේ නාමය කෙළෙසන්නට හෝ රට අනතුරට ලක් කරන කිසිදු තීන්දුවක් ගන්නට රජය කටයුතු නොකරන බවත්, රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ආර්. එම්. රංජිත් මද්දුමබණ්ඩාර මහතා, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Read more

Local News