ශ්‍රී ලංගම බස්රථ ඇණියට සුඛෝපභෝගී නවීන බස්රථ – ඡායාරූප

Share

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය වැඩි කරමින් වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 68ක් එක් වෙයි.

එහි පළමු පියවර යටතේ චීනයේ Xiamen Kinglong United Automotive Industry සමාගමෙන් ඇණවුම් කළ කින්ග් ලෝන්ග් (Kinglong) සුඛෝපභෝගී නවීන බස්රථ නවය එම සමාගම විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම නිමවා තිබේ.

එම බස්රථ ලබන බදාදා චීනයේ මෙරටට නැව්ගත කිරීමටද නියමිතව ඇත. එක් බස්රථයක වටිනාකම රුපියල් මිලියන 17.1කි.

මීට පෙර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන් වූයේ ලොරි චැසි යොදාගෙන සකස් කළ බස් රථයි. පොදු ප්‍රවාහන සේවාවක් ලෙස ශ්‍රී ලංගම ඉදිරියට ගෙන යාමට නම් එම ලොරි චැසි බස්රථ වෙනුවට සුඛෝපභෝගී වායුසමීකරණය කළ නවීන බස්රථ අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශයේ දැක්ම වෙයි.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංගම බස්රථවලට පිරිවිතර හඳුන්වා දීමට දැනටමත් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මූලිකත්වයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංගම බස් ඇණියට වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 68ක් එක් කිරීම කඩිනම් කිරීමද එම ව්‍යාපෘතියේම එක් පියවරක් වේ. එහි පළමු අදියර යටතේ ගෙන්වූ කින්ග් ලෝන්ග් බස් රථ නවය ඩිපෝ හයකට බෙදා දෙයි.

ඒ මහරගම, මධ්‍යම බස් නැවතුම් කාර්යාල, සහ කටුබැද්ද සුඛෝපභෝගී බස්රථ ඩිපෝවට දෙක බැගින් සහ පොලොන්නරුව, මාවනැල්ල සහ මාතලේ ඩිපෝවලට එකක් බැගිනි.

චීනයෙන් ආනයන කරන කිංග්ලෝන්ග් බස්රථවල මාදිලිය වන්නේ XMQ 6127 CY වේ. එහි ආසන සංඛ්‍යාව 51කි.

එම බස්රථ නිපදවන Xiamen Kinglong United Automotive Industry සමාගම යනු දැනට අප්‍රිකා, යුරෝපය සහ බටහිර රටවල් ඇතුළු රටවල් 150 අධික ප්‍රමාණයක් සදහා වාර්ෂිකව වැඩිම බස් රථ අපනයන කරන එකම චීන සමාගමයි.

චීනයේ අංක එකේ වැඩිම බස් රථ අපනයන හිමි සහ ලෝකයේ තුන්වැනියට වැඩියෙන්ම විකිණෙන බස් වර්ගය වන Longwin II (XMQ6127) සුඛෝපභෝගී බස් රථ නිෂ්පාදනය කරන්නේද මෙම සමාගම විසිනි.

එම සමාගමෙන් ඇණුවුම් කළ බස්රථ නවය එක් එක් ඩිපෝ මඟින් සම්පූර්ණයෙන්ම මුදල් ගෙවා මිලදී ගැනීමද විශේෂත්වයක් වේ.

Read more

Local News