ඡන්ද හිමි නාම ලේඛන හැකි ඉක්මනින් පුරවා භාර දෙන්න

Share

ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර හැකි ඉක්මනින් පුරවා භාර දෙන්නැයි කැෆේ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම සංවිධානයේ වැඩබලන විධායක  අධ්‍යක්ෂ  අහමඩ්  මනාස් මහතා පෙන්වා දෙන්නේ රටේ පවතින ආරක්ෂක වාතාවරණය  අනුව මේ වනවිට ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර පුරවා භාරදීම පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනෙන බවයි.

මේ වසර අවසානයේ දී හෝ ඊළඟ වසරේ දී පළාත් සභා මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. එම මැතිවරණ සඳහා ඡන්දය  ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ගැනීමට මෙම ඡන්ද හිමි නාම ලේඛණ වලට  නම ඇතුළත් කර ගත යුතුය. එම නිසා ඡන්ද හිමි නාම ලේඛණ  ප්‍රතිශෝධන කටයුතු කඩිනමින් සිදු කර ගැනීම සඳහා හැකි ඉක්මනින් අදාළ ඡන්ද හිමි නාම ලේඛණ  අයදුම් පත්‍ර පුරවා භාර දීමට කටයුතු කළ යුතු බව කැෆේ විධායක  අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මෙතෙක් ඡන්ද හිමි නාමලේඛන අයදුම් පත්‍ර නොලැබුණු කෙනෙක් වේ නම් එම අයදුම් පත්‍ර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා වෙතින් ලබා ගත හැකිය. ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධන කටයුතු ප්‍රමාද වන තරමට මැතිවරණ කල්දැමීමේ වැඩි හැකියාවක් ඇති බැවින් මෙම ආකෘති පත්‍ර කඩිනමින් භාර දිය යුතු බව කැෆේ සංවිධානයේ අදහසයි.

ජනාධිපතිවරයා , අගමැතිවරයා සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් 2019 වසර මැතිවරණ වසර බවට ප්‍රකාශ කර තිබුණ ද මේ වන තෙක් කිසිදු මැතිවරණයක් පවත්වා නො මැත. මාස තුනකට ඉහත දී ද ජනාධිපතිවරයා පවසා තිබුණේ මැයි මස 31 දිනට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බවයි.

නමුත් එලෙස මැතිවරණය  පැවැත්වීමට කිසිදු  සූදානමක් තිබූ බවක් පෙනෙන්නට  තිබුණේ  නැත.

කෙසේ වෙතත් මේ වසර අගදී හෝ ඊළඟ වසර මුල දී අනිවාර්යයෙන්ම අදාළ මැතිවරණ පැවැත්විය යුතු ව ඇති බැවින් එම මැතිවරණ කිසිදු හේතුවක් මත කල් දැමීමට අවකාශ නො තැබිය යුතු ය.

එම නිසා ඡන්ද හිමි නාමලේඛණ  අයදුම් පත්‍ර හැකි ඉක්මනින් පුරවා භාරදීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැබෑ පුරවැසියෙකුගේ යුතුකම බව කැෆේ සංවිධානය  අවධාරණය කරයි.

Read more

Local News