ත්‍රස්තවාදීන් විනාශ කිරීම යනු සුළු ජාතීන්, සුළු ආගම් විනාශ කිරීම නොවේ

Share

රට තුළ පවතින ත්‍රස්තවාදය හඳුනාගෙන එය විනාශ කර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ත්‍රස්තවාදීන් විනාශ කිරීම යනු සුළු ජාතීන් හා සුළු ආගම් විනාශ කිරීම නොවන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මෙරටින් විනාශ කරනවා කියා ජාති භේද අවුලවා ගිනිකඳු නිර්මාණය කිරීමට උත්සහ කිරීමෙන් මුළු රටම විනාශ වන බවත්, රට තුළ විනාශකාරී ක්‍රියා සිදුකරන අයගේ සැළසුම් සාර්ථක කර ගැනීමට ඉඩ ලබා දුනහොත් රට තුළ ත්‍රස්තවාදී ක්‍රියා වර්ධනය වීමට ඉඩ තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රට තුළ විවිධ ගැටුම් ඇති වූ විට ඒ හරහා මෙරටට ඇතුළු වී සිය බල පරාක්‍රමයක් නිර්මාණය කිරීමට අධිරාජ්‍යවාදීන් බලා සිටින බවත්, ජාති ආගම් කේන්ද්‍ර කර ගනිමින් රට තුළ ගිනි කඳු නිර්මාණය වූ විට රටේ ඒකීයභාවය හා ස්වෛරීත්වය විනාශ වී අධිරාජ්‍යවාදීන්ගේ අරමුණු ඉටු කර ගැනීමට වාතාවරණය සැකසෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

රට ගිනිබත් කරන ව්‍යාපෘති හරහා ජනපති හෝ අගමැති පුටුවට යාමට කවුරුන් හෝ උත්සහ කරනවා නම් තමන් එයට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව ප්‍රදේශයේ ඉදිකළ “සෙන්පති සුරනිමලගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද(03) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 197 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“සෙන්පති සුරනිමලගම” උදා ගම්මානය නිවාස 24 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 204 කි.

පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.

ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ 72 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150 කට රුපියල් ලක්ෂ 300 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 20 ක් සඳහා රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 30 ක් වටිනා ප්‍රතිලාභ, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 30 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි, ස්වයං රැකියා ණය ප්‍රදානය සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනක්ද මෙහිදී පැවැත්විණී.

Read more

Local News