පළාත් සභා මැතිවරණය ගැන කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දෙයි

Share

අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් පළාත් සභා මැතිවරණය සීමා නිර්ණය කටයුතු නොතකා කඩිනමින් පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම අද (03) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

කල් තබා තිබෙන පළාත් සභා මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සබරගමු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරුන් ඉදිරිපත් කළ පෙත්සම් අද(03) කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එද දැනුම්දීම සිදු කළේය.

මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අගෝස්තු මස දෙවන දා විභාගයට ගැනීමට නියම කළේය.

මෙම පෙත්සම් අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු හමුවේය.

පළාත් සභා මැතිවරණය දිනෙන් දින කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බව පෙත්සම්කාර හිටපු ප්‍රධාන අමාත්‍යවරු කියා සිටියහ.

එම නිසා අදාළ මැතිවරණය වහාම පත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ද එම හිටපු අමාත්‍යවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මේ අතර කල් දමා තිබෙන පළාත් සභා ඡන්ද විමසීම වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 17 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Read more

Local News