ආණ්ඩුවේ සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ධුරවලින් ඉල්ලා අස්වෙයි

Share

රිෂාඩ් බදියුර්දීන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්විය.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නව දෙකෙක් ඊට ඇතුළත්ය.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන් පසුගියදා ආණ්ඩුවට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  ඒ.එච්.එම් ෆවුසි මන්ත්‍රිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී ඊයේ(03) පෙරවරුවේ තීරණාත්මක සාකච්ඡාවක නිරත වුණි.

අනතුරුව ඔවුන් එහිදී ගනු ලැබූ තීරණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඇතුලු කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කරනු ලැබුවේය.

ඉන් පසු ඒ පිළිබවද ආණ්ඩුව නියෝජනය කරන සියලු මුස්ලිම් මැති ඇමැතිවරුන් මාධ්‍ය වෙත සිය තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසා සිටියේ ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනයා නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

ඒ අනුව ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර හෙබවූ කැබිනට් අමාත්‍ය වරුන් වන රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන්,කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරු සහ රාජ්‍ය අමාත්‍ය ධුර හෙබවූ ෆයිසාල් කාසීම්,එච්.එම්.එම්.හාරීස්,අමීර් අලි සහ අලි සහීර් මවුලානා යන මහත්වරු මෙලෙස සිය ධුරවලින් ඉවත් වුණි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතාද ඊයේ දින සිය ධුරයෙන් ඉල්ලා අස්වුණි.

Read more

Local News