පෙළ පොත්වල අධ්‍යපන ඇමතිගේ රුව පළ කිරිම සම්බන්ධයෙන් විමර්ශන

Share

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා පසුගිය සමයේ සිදු වූ වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට ඊයේ කැඳවීය.

ඒ පෙළ පොත් මුද්‍රණය කිරීමේදී සිදුව ඇතැයි, පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනාවලට අදාළව සාක්ෂි ලබා දීම සඳහායි.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් පෙරේදා දිනයේ ත් පංච පුද්ගල ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි සටහන් කරගැනීම සිදු විය.

පෙළ පොත්වල දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ පණිවුඩ පළ කිරීම පිළිබඳව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ජයන්ත වික්‍රමනායක මහතාගෙන් මෙහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරිණ.

එහිදී අනාවරණ වූයේ රජයේ ප්‍රදානයක් ලෙස සිසුන් අතට පත් කරන පෙළ පොත් සඳහා තමාගේ ඡායාරූපයත් අත්සන් භාවිත කර ලිපි පළ කළ එක ම අමාත්‍යවරයා අකිල විරාජ් කාරියවසම් මහතා බවයි.

ඇතැම් අමාත්‍යවරු පෙළ පොත් සඳහා සිය නම හෝ භාවිත නොකළ අවස්ථා ද ජනාධිපති කොමිසමේ නියෝජිතයින් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්වරයාට පෙන්වා දුන්නේය.

ඒ සඳහා වැය වූ මුදල පිළිබඳ සාකෂිකරුගෙන් කරුණු විමසීමේදී, පෙළ පොත් මුද්‍රණයට මිල ගණන් කැඳවීමේ ක්‍රමවේදයේ ඇති දුර්වලතා ද ජනාධිපති කොමිසමේ අවධානයට ලක් විය.

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්වරයා පැවසූවේ, අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළ කිරීම හේතුවෙන් මුද්‍රණකරුවන් එකඟ වූ මුදලට වඩා අමතර ගාස්තුවක් වැය වී නොමැති බවයි.

කොමිසමේදී සඳහන් වූ කරුණු අනුව ඊට හේතුව පෙළ පොත්වල වර්ණ මුද්‍රණ පිටු ප්‍රමාණය පිළිබඳ විධිමත් හඳුනාගැනීමකින් තොරව, සියලු පිටු වර්ණ මුද්‍රණ පිරිවැය යටතේ, මුද්‍රණකරුවන් සමග මිල එකඟතාවයන්ට පැමිණ තිබීමයි.

එය සුළු කොට තැකිය නොහැකි මහජන මුදල් නාස්තියක් බව ජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

පසුගිය දා ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබුණේ 2018 වසරේ මුද්‍රණය කළ පෙළ පොත් මිලියන 29 ක විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් පළ කිරීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත වී ඇති බවයි.

Read more

Local News