ආගම්භේද, ජාතිභේද ඇති කරන දේශපාලනඥයින් ගැන සජිත් කියයි

Share

රට තුළ ආගම්භේද ජාතිභේද ඇති කරන්නේ රටේ සංවර්ධනයට සක්‍රීයව දායක විය නොහැකි දේශපාලනඥයින් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ සංවර්ධන ගමනට සක්‍රීයව දායක වීමට බැරි, නොහැකියාවෙන් අලසකමින් පෙළන දේශපාලනඥයින් අද ජාති ආගම් භේද අවුලා රට විනාශ කරන්නට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වෙහෙස වී අසරණ ජනතාවට සේවය කර රට සංවර්ධනය කරන්නට ඔවුන්ට කිසිදු උවමනාවක් නොමැති බවත්, ජනතා සේවයට ඇති නොහැකියාව නිසා ජාති, ආගම් භේද අවුලා ජනප්‍රිය වී එමඟින් දේශපාලන වාසි ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනතා සේවයට කැපවෙන, ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකියාව ඇති  සක්‍රීය දේශපාලනඥයින් අද රටට අවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා, තමන් ගැන නොසිතා ජනතාව ගැන සිතන, ජනතාවගේ ඉල්ලුමට සැපයුම ලබා දිය හැකි පරාර්ථකාමී යුගයක් ඉදිරියේදී නිර්මාණය කිරීමට තමන් සූදානම් බවත් සඳහන් කළේය.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ නිරිත ඉදිකළ 195 වන ආදර්ශ ගම්මානය වන ගණපතිපුරම් උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

Read more

Local News