වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුව කල් යයි

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා පත් කළ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු අද(04) ඉවත් විය.

එම පැමිණිල්ල ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගය ගැනීමට නියමිතව තිබුණි.

එහෙත් ජනක් ද සිල්වා විනිසුරුවරයා සඳහන් කර සිටියේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

ඒ අනුව මෙම නඩු විභාගයට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම සඳහා එය ලබන 14 වන දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉදිරියේ කැඳවන මෙන් නියම කෙරුණි.

පුරවැසි බලය සංවිධානය කැදවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.

පැමිණිලිකරුවන් කියා සිටින්නේ 2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මගින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

ඒ තුළින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News