විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව සියයට 50කින් අඩුවෙයි

Share

පසුගිය වසර 6ක කාලයට තුළදී විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

2012 වසරේදී විදුලි සැර වැදීම් හේතුවෙන් පුද්ගල මරණ 186ක් වාර්තා වී ඇති අතර, 2018 වසරේදී විදුලි සැර වැදීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 89 දක්වා අඩු වී තිබේ.

විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල ආරක්ෂණය සඳහා ගත් පුළුල් නියාමන ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇති බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ආදර්ශ අනුව ජනගහනයේ අනුපාතයක් ලෙස විදුලි සැර වැදීම් මරණ සිදුවීම දස ලක්ෂයකට එකක් දක්වා අඩු කළ හැකි  බව ද කොමිෂන් සභාව පෙන්වා දෙයි.

2012 දී මෙරට දස ලක්ෂයක ජනගහනයට වාර්තාව මරණ සංඛ්‍යාව 9ක් වන අතර 2018 දී එය 5ක් දක්වා අඩු වී තිබේ.

2018 දත්ත අනුව වැඩි වශයෙන් විදුලි සැර වැදීම් මරණවලට ගොදුරු වී ඇත්තේ පිරිමි පාර්ශ්වයයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 83කි.

විදුලි සැර වැදීම් මරණ වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ දකුණු පලාතෙන් (සියයට 67ක්) වන අතර අඩුම මරණ සංඛ්‍යාව සබරගමුව පලාතෙන් වාර්තා වී ඇත.

විදුලි සැර වැදීම් මරණවලට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුව ලෙස වන සතුන් දඩයමට හා වගා ආරක්ෂාවට අනවසර විදුලි රැහැන් එලීම හඳුනා ගෙන ඇත.

මීට අමතරව විදුලි රැහැන් අසල නොසැලකිල්ලෙන් කරන ක්‍රීයා හා අනාරක්ෂිත විදුලි රැහැන් පද්ධතිද විදුලි සැර වැදීම් මරණ වලට හේතු වී ඇති බව කොමිෂන් සභාව සඳහන් කරයි.

Read more

Local News