අසත්‍ය ප්‍රවෘත්ති වලට එරෙහිව නිති සංශෝධනය කරන්න කැබිනට් අනුමැතිය

Share

අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජාතීන් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධාවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි මෙම සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

ඒ අනුව අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් වන චෝදනාවට වරදකරුවෙකු වන පුද්ගලයෙකුට රුපියල් දස ලක්ෂය දක්වා වන දඩ මුදලක් හෝ වසර 5 කට නොවැඩි සිර දඬුවමක් නියම කිරිමට හෝ එම දඬුවම් දෙකටම යටත් වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

වෛරී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයෙකුට දඩ මුදලක් හෝ සිර දඩුවමක් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read more

Local News