ප්‍රසන්නට එරෙහි නඩුවේ නීතිපති කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Share

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ දුරකථන සංවාදවලට අදාළ විශ්ලේෂණ වාර්තා නැවත කැඳවීමට ඉඩ දෙන මෙන් නීතිපතිවරයා කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ දුරකතන ඇමතුම්වලට අදාළ විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ ප්‍රධානී මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා මේ වන විට මියගොස් ඇති නිසා එම වාර්තා ඔහු නොමැතිව මෙම නඩුවේ පැමිණිලිකරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ විත්තියේ නීතිඥවරු විශේෂඥ සාක්ෂිකරුවකු විසින් ඉදිරිපත් කළ යුතු සාක්ෂි මෙම නඩුවේ පැමිණිලිකරු මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදනයක් නොමැති බවත් ඊට තමන් විරුද්ධ වන බවත් දැනුම් දී තිබුණි.

එසේ නම් මෙම දුරකතන ඇමතුම් වලට අදාළ විශ්ලේෂණ වාර්තාවක් නැවත ලබා ගැනීම සඳහා නියෝගයක් ලබා දෙන මෙන්ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා කියා සිටියේ එවැනි නියෝගයක් ලබා දීම සඳහා කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවයි.

ඒ අනුව මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ විනිසුරුවරයා නඩුව අගෝස්තු මස 01 වන දා විභාගයට ගන්නා බවද නියම කළේය.

කොළඹ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක් ගොඩ කර එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ගිහාඩ් මෙන්ඩිස් නැමති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් හිටපු බස්නාහිර පළාත් මහා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News