ඥානසාර හිමිට රට යන්න තාවකාලිකව අවසර

Share

වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි කියන බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන අගෝස්තු මස 23 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

මෙහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායක හිමියන්ට 2018 වසරේ ජපානයේ ශිෂ්‍යත්වයක් ලැබී ඇති බවත් එය 2020 වන වසර දක්වා ක්‍රියාත්මක වන බවයි.

එම ශිෂ්‍යත්ව කටයුතු වලට සහභාගි වීම සඳහා තම සේවාදායක හිමියන්ට ජපානයේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම හැකිතාක් කාලයක් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මීළඟ නඩු දිනය දක්වා පමණක් විදේශ ගමන් තහනම ඉවත් කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළ අතර ස්වාමීන් වහන්සේට අධිකරණයට පැමිණීමට අපහසු අවස්ථාවක සිය නීතිඥවරයා මාර්ගයෙන් නඩුව පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවද දන්වා ඇත.

ඒ අනුව පැමිණිල්ල නැවත ලබන අගෝස්තු මස 23 වනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එතෙක් ඥානසාර හිමියන්ට විදේශ ගත වීමට අවසර ලබා දුන්නේය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකය විසින් යන ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Read more

Local News