බ්‍රිතාන්‍යය අගමැතිනී අද පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

Share

බ්‍රිතාන්‍යය අගමැතිනී තෙරේසා මේ අද (07) දිනයේ කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇත.

අලුතින් අගමැතිවරයෙකු පත් කර ගැනීම සඳහා ඉඩ සලසමින් තමන් කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ නිවේදනය කළේ පසුගිය 24 වැනිදායි.

කෙසේ වෙතත් ඇය කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා සුදුස්සෙකු තෝරා ගනු ලබන තෙක් අගමැති ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් ‘බ්‍රෙක්සිට්’ අර්බුදය මුල්කොට ගනිමින්, තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සිය ඉවත් වීම පිළිබඳව නිවේදනය කරමින් පවසා සිටියි.

මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළේ 2016 පැවැති ජනමත විමසුමේදීයි.

ජනමත විමසුමේදී බහුතරයකගේ මතය වූයේ මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවයි.

ඒ අනුව, කොන්සවර්ටිව් පාක්ෂික ඩේවිඩ් කැමරන් අගමැති ධුරයෙන් ඉවත් වුණි.

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට යුරෝපා සංගමයෙන් වසර 3 ක කාලයක් ලැබුණු අතර, එම කටයුත්ත සම්පූර්ණ කිරීමට සුදුස්සකු ලෙස කොන්සවර්ටිව් පක්ෂය තෙරේසා මේ අගමැති ධුරයට පත් කර ගත්තේය.

2017 දී බි‍්‍රතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වූයේ අගමැතිනී තෙරේසා මේට ජනතා මනාපය ඇති බව සෙවීමේ අරමුණෙනි.

එහිදී ඇයට පැහැදිලි ජනවරමක් හිමිවුණි.

අගමැතිනී මේ යුරෝපා සංගමය සමඟ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියක් සකස් කර ගත්තේය.

ඊට ඇගේ කොන්සවර්ටිව් පක්ෂයෙන් පමණක් නොව, ප‍්‍රතිවාදී කම්කරු පක්ෂයෙන් ද දැඩි විරෝධයක් එල්ල වුණි.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට නම් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඊට අදාල යෝජනාව අනුමත කළ යුතුය.

තෙරේසා මේ ඉදිරිපත් කළ සියලූ බ්‍රෙක්සිට් යෝජනා අසාර්ථක වූ අතර, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය දිනෙන් දින දීර්ඝ කර ගැනීමට අගමැතිනිය සමත් වුණි.

කෙසේ නමුත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට අගමැතිනිය අපොහොසත් වී ඇත.

තෙරේසා මේ ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ අනුවය.

මේ අතර නව අගමැතිවරයකු පත් කර ගැනීම ඉදිරි දින කිහිපයේදී සිදු කරන බව කොන්සවර්ටිව් පක්ෂය පවසා ඇත.

Read more

Local News