ගෝඨාගේ නඩුව 10 වනදාට කල්යයි

Share

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සඳුදා (10) කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කර ඇත.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද(07) යළි සලකා බැලීම ආරම්භ කළේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් කරුණු දැක්වීම් ඉදිරිපත් කළේය.

ඒ අනුව වැඩිදුර සලකා බැලීම ලබන සඳුදාට කල් දැමුණු අතර එදින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දැක්වීමට නියමිතයි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය පැවරී තිබෙන්නේ බරපතළ ආර්ථික වැරදි සහ මූල්‍ය අපරාධ පිළිබඳ නඩු විභාග කිරීමට පමණක් බවත් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව එවැනි ගණයට අයත් නොවන නඩුවක් බැවින් එය විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියි.

එහෙත් එම මූලික විරෝධතාව විශේෂ මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

Read more

Local News