ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නම් බුදු දහමේ ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි

Share

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නම් බුදු දහමේ ප්‍රතිපත්ති විකෘති නොකර අකුරටම එය ක්‍රියාත්මක කරමින් රටේ ජාතික සමගිය ඇති කළ යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, පච්චිලෛපල්ලි ප්‍රදේශයේ ඉදිකළ“ආරාධිනගර්” සහ “සංජීවිනගර්”උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද(07) දින සහභාගී වෙමිනි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ඉහළම ආදර්ශය බුදු දහමින් ලබා දී ඇති බව කී අමාත්‍යවරයා ඉන් එක ජාතියකට හෝ ආගමකට පමණක් සීමා නොවී සියලුම ජාති හා ආගම් වලට රැකවරණය ලබා දිය හැකි බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාති, ආගම් භේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස අනෙකාට ගරු කරමින් කටයුතු කිරීමෙන් පමණක් ජාතික ආරක්ෂාව තහවුරු වන බවත්, තමන් අනුගමනය කරන්නේ බුදු දහමේ සඳහන් ඒ උතුම් ප්‍රතිපත්තීන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සිංහල බෞද්ධ ජනතාව ආරක්ෂා කිරීමට සුළු ජාතීන් හා ආගම් විනාශ නොකළ යුතු බවත්, බෞද්ධ දර්ශනය විකෘති නොකර අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් ශක්ති සම්පන්න සෞභාග්‍යමත් රටක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News