පරිසරය වෙනුවෙන් තීරණ ගන්නේ ඡන්ද බලාගෙන නෙවෙයි

Share

පරිසරය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නේ ඡන්ද බලාගෙන නොව මිනිසාගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වූයේ අද (08) පෙරවරුවේ මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රිඩාංගණයේ  පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

රටේ වන සම්පත රැක ගැනීම වෙනුවෙන් කිසිඳු දේශපාලනඥයෙකු නොගත් තීන්දු තිරණ රැසක් තමා ඉකුත් සිව් වසර තුළ ගත් බව ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කළේය.

වඩු මඩු සහ ලී මෝල් සඳහා අලූතින් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව පරිසර අමාත්‍යවරයා ලෙස තමා ගත් තීන්දුව බොහෝ දෙනා අවඥාවෙන් බැහැර කළ ද රටේ වන සම්පත සීග්‍රයෙන් අහිමිවී යාමත් සමග මිනිසා ප්‍රමුඛ සියලූ සතා සීපාවට ජීවත්වීම පිළිබඳ බරපතළ අභියෝගයකට තවත් වසර 15-20ක් ගත වන විට මුහුණදීමට සිදුව තිඛෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් පරිසරය රැකීමට ගන්නා තීන්දු තීරණවල දී දේශපාලන මති මතාන්තරවලින් තොරව ගැටලූව දෙස අවංකව බලන්නැයි තමා සියලූදෙනාගෙන් ඉල්ලන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට වනාන්තරවලින් 95%ක් විනාශ කරන්නේ ජාවාරම්කරුවන් විසින් බව සොයාගෙන තිබෙන බවයි.

ලී මෝල් සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට මුවා වී මෙම ජාවාරම් සිදු කෙරෙන අතර, අධික ලෙස සිදුවන ගස් කැපීම් හේතුවෙන් ජල මුලාශ්‍රවලට සහ පරිසරයට විශාල හානියක් සිදුවෙමින් පවතින බව පරිසර විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එබැවින් ජීවිතය මෙන් වන සම්පත ද රැක ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ කිසිඳු දේශපාලනඥයෙක් ඡන්ද ඉලක්ක කර ගනිමින් ජාතිවාදය සහ ආගම්වාදය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු නොකළ යුතු බවයි.

මේ වසර අවසානයේ පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් අද බොහෝ දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින අතර, ජාතිවාදයට සහ ආගම්වාදයට ඉඩ සැලසීම අප්‍රේල් 21 වනදා බෝම්බ පුපුරවමින් ත්‍රස්තවාදීන් තැබූ අපේක්ෂා ඉටුකිරීමට සහය වීමක් බව ද කියා සිටියේය.

එබැවින් රට වෙනුවෙන් එකට සිටිමින් සියලූ දෙනා රට වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දීප ව්‍යාප්තව කි්‍රයාවට නංවා ඇති රට වෙනුවෙන් එකට සිටිමු ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජනාධිපති කාර්යාලය සහ රජය මඟින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන සහ සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කරමින් එහි කඩිනම් ප්‍රතිලාභ ජනතාවට ලබා දීමයි.

මෙතෙක් විසඳුම් නොලැබුණු ජනතාවගේ දීර්ඝකාලීන ගැටලූවලට කඩිනම් විසඳුම් ලබාදීම ද වැඩසටහන හරහා සිදු කෙරේ.

Read more

Local News