තඹ කම්හලේ සේවය කළ අබ්දුල්ලා තවදුරටත් රිමාන්ඩ්

Share

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 24 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  නියම කළේය.

මෙම පැමිණිල්ල අද(10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකරුවන් ඇතුළු සැකකරුවන් 10 අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැති සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණය වෙත ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.

එහෙත් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අනුකූලතාවයක් නොදැක්වූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 24 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම සැකකරුවන් අදාල තඹ කම්හලේ හිමිකරු වන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල සැකකරු සමඟ  සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළි වී තිබුණත් ඔවුන් මෙම අපරාධයට ද දායක වී තිබේ ද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේ.

ඒ අනුව නැවත පැමිණිල්ල ලබන 24 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයට දන්වා සිටියේය.

Read more

Local News