වසර 9ට පසු සක්විති රණසිංහට ඇප

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදල්  තැන්පතු ලබා ගෙන ඒවා සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු තුනක් සම්බන්ධයෙන් වසර නවයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ අධිපති චන්දන විරකුමාර හෙවත් සක්විති රණසිංහ නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සක්විති නැමැත්තා එතැන් පටන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

2006 වසරේ නොවැම්බර් මස 01 වනදා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 31 වැනිදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නමින් මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් එහි තැන්පත් කර තිබු මහජනතාවට අයත් රුපියල් කෝටි 162 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සක්විති රණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් ගොනු කර තිබුණි.

එම නඩු සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම විත්තිකරු මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියම කර තිබුණි.

එමෙන්ම තවත් නඩුවක් සඳහා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නියම කරන ලදී.

Read more

Local News