වරකාපොල ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයෙක්ට ජනපති සමාව

Share

අල්ලස් චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටි වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාකේවිටගේ ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ නමැත්තාට ජනාධිපතිවරයා විසින් එම දඩුවම නිෂ්ප්‍රභ කරමින් සමාවක් ප්‍රදානය කර ඇති බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වුණි.

1995 වසරේ ජනවාරි මස 01වනදා සහ එම මස 31 දක්වා කාලසීමාව තුළ වරකාපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි උඩගම, තඹදිය සහ ඒවිටිගල යන මාර්ග තුන නවීකරණයට අදාළ ටෙන්ඩරය පිරිනැමීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම විත්තිකාර හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව 2009 වසරේ ඔක්තෝම්බර් මස 29 වනදා තීන්දුව ප්‍රකාශයට පත් කළ එවක කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා විත්තිකරු අල්ලස් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කොට ඔහුට වසර 18ක සිර දඬුවම් නියම කරමින් එය වසර හයකින් ගෙවියා යුතු බව නියෝග කළේය.

ඊට අමතරව රුපියල් 15,000 ක දඩයක් මෙන්ම රුපියල් විසිපන්දහසක දණ්ඩන මුදලක් ද ගෙවන ලෙස විත්තිකරුට විනිසුරුවරයා විසින්  නියම කරනු ලැබීය.

එම දඬුවමට එරෙහිව විත්තිකරු 2010 වසරේ මාර්තු මස 20 වනදා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබූ නමුත් අභියාචනාධිකරණය විසින් ද කොළඹ මහාධිකරණය මගින් ප්‍රකාශයට පත් කරන ලද  සිර දඬුවම හා දඩ මුදල අනුමත කර තිබුණි.

එම අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරිම සඳහා මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (ඇ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව පනවා තිබු දඩුවම නිෂ්ප්‍රභ කරමින් පොදු සමාවක් ප්‍රදානය කර ඇති බව දක්වමින් ජනාධිපති කාර්යාලය විසින් ඉකුත් අප්‍රේල් මස 29 වනදා යොමු කළ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එම ලිපියට අනුව අදාළ විත්තිකරු නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

Read more

Local News