පණ්ඩිත් අමරදේව සංගීත අසපුව අගෝස්තු 31 වන විට ජනතා අයිතියට පත් කරන්න

Share

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුව අගෝස්තු 31 වනදා වන විට ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එම අසපුවේ ඉදිකිරීම් පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ(10) පස්වරුවේ නිරත වූ ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත.

පණ්ඩිත් අමරදේවයන් ජීවිත්ව සිටියදී කරන ලද ඉල්ලීමකට අනුව සහ එතුමාගේ අවමංගල්‍ය‍යේ උත්සවයේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දුවකට අනුව 2017 වසරේ අගෝස්තු 28 වන දින මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේය.

බත්තරමුල්ල අපේගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120ක භූමි ප්‍රදේශයක මෙම සංගීත අසපුව ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200ක්.

පුස්ථකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්, සම්මන්ත්‍රණ ශාලාවක් සහ ශබ්දාගාරයකින් මෙන්ම එළිමහන් රඟහලකින් ද මෙම සංගීත අසපුව සමන්විත වෙයි.

සමස්ත රට වැසියන්ගේම ගෞරවය සහ ආදරය දිනා ගනිමින් ජාතියේ මහා ගාන්ධර්වයා ලෙස පිදුම් ලද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සිදුකරන ලද අනුපමේය දායකත්වය සිහිගන්වමින් එතුමාගේ සංගීත නිර්මාණ සහ සංගීත සම්ප්‍රදාය අනාගත පරපුර වෙත දායද කිරීමේ අරමුණින් මෙය ඉදිකෙරෙයි.

Read more

Local News