අල්ලස් ගත් විශේෂඥ වෛද්‍යවරයාගේ නඩුව ලබන 21 දා යළි කැඳවයි

Share

රුපියල් 75000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් කුලියාපිටිය මූලික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ආර්.එම්.සී. තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව ලබන 21 වනදා යළි කැඳවන ලෙස කොළඹ දෙවන ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(11) ආර්.ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රනරාජා යන ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව විත්තියේ නීතිඥවරයාට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල නඩුව නැවත ලබන 21 වනදා  කැදවීමට නියම කළේය.

2016 වසරේ ජුනි මස 01 වනදා සිට එම අගෝස්තු මස 31 වනදා දක්වා කාලසීමාව තුළ කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රෝගීන්ගේ රසායනාගාර වාර්තා ලබා ගැනීමේ කාර්යය පෞද්ගලික රසායනාගාරයක් වෙත ලබාදීම සඳහා මාසිකව රුපියල් 25000/- බැගින් අල්ලස් ඉල්ලා රුපියල් 75000/- ක් අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම එම වෛද්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News