ශ්‍රීලනිපයට නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 17ක්

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු 17 දෙනෙකු පත් කර තිබේ.

අද පෙරවරුවේ නව සංවිධායකවරුන් ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

ජනාධිපති කාර්යාලයේදී එම පත්වීම් ලිපි ප්‍රදානය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරිමේ වැඩපිළිවෙළ යටතේ, ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක ධූර යථාවත් කරමින් එම පත් වීම් ලබා දී තිබේ.

ඒ, අනුව කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ ජීවන් කුමාරණතුංග මහතායි.

ගම්පහ, ජා-ඇල මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායක ලෙස නාමල් සුරංග මහතා, මීගමුව ආසන සංවිධානයක ලෙස ලලිත් ටෙන්සිල් මහතා, හොරණ ආසන සංවිධායක ලෙස රවීන්ද්‍ර ශ්‍රී සුරංග මහතා, බේරුවල ආසන සංවිධායක ලෙස සුගත් මතුගමගේ මහතා පත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස සාලිය ගුණසිංහ මහතා පත් කර ඇති අතර මහනුවර, පාතදුම්බර ආසන සම සංවිධායක ලෙස පත් කර ඇත්තේ, එච් ප්‍රියන්ත පුෂ්පකුමාර මහතායි.

උඩදුම්බර ආසන සම සංවිධායකවරයා ලෙස අනුරුද්ධ පාලිත බණ්ඩාර මහතා පත් කර තිබේ.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කනිෂ්ඨ අවිනාශ් රත්නසේකර මහතා පත් කර ඇති අතර ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ වේරුගල් බල ප්‍රදේශය භාර සංවිධායක ලෙස පත් කර ඇත්තේ, කනගසුරියම් උදය කුමාර් මහතායි.

මේ අතර මුතුර් ආසනය සඳහා සහ මුතුර් ප්‍රාදේශීය බල සභා බල ප්‍රදේශයට ද සංවිධායකවරුන් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, කින්නියා ප්‍රාදේශීය බල ප්‍රදේශය, කුච්චවේලි ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය, ත්‍රීකුණාමලය කප්පල්තුරේ බල ප්‍රදේශය, ත්‍රිකුණාමලය නගර සභා බල ප්‍රදේශය සහ තඹගලමුව ප්‍රාදේශීය බල සභා ප්‍රදේශ සඳහා සංවිධායකවරුන් ද අද ජනාධිපතිවරයා අතින් සිය පත් වීම් ලබා ගත් බව ය.

Read more

Local News