NTJ හා සහරාන් ගැන ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළා

Share

තවුහිත් ජාමාද් සංවිධානවල අයි.එස් සබඳතා පිළීබඳව 2015 වසරේ සිට ආරක්ෂක අංශ දැනුවත් කළ බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති මව්ලවි පවසයි.

සහරාන් ඇතුළු තවුහිත් ජමාද් කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම වසරේ ජනවාරි 13 වන දින ද එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව රිස්වි මව්ලවි පවසන්නේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් මව්ලවි තුමන් මේ බව පැවසීය.

එහිදී තවදුරටත් සාක්ෂි දෙමින් රිස්වි මව්ලවි පැවසුවේ තමා අයි.එස් සංවිධානයට එරෙහිව මත ප්‍රකාශ කිරිම හේතුවෙන් තවුහිත් ජමාද් සංවිධානයේ සහරාන් ඇතුළු කණ්ඩායමේ දෝෂ දර්ශනයට ලක් වූ බවයි.

අයි.එස්.අයි.එස් සංවිධානය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කිසිදු සේවාවක් සිදු කර නොමැති බව තමා සැමවිටම අවධාරණය කර සිටින අතර සැබෑ ඉස්ලාම් ආගමිකයෙකු අයි.එස් සංවිධානයට පක්ෂපාතීත්වයක් නොදක්වන බව මව්ලවි තුමන් එහිදී ප්‍රකාශ කළේය.

අයි.එස්.අයි.එස් සංවිධානය සෙසු ත්‍රස්තවාදී සංවිධාන මෙන් තරුණයින් නොමඟ යවමින් ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනිම සිදු කෙරන අතර ලංකාව තුළ එවැනි අන්තවාදීන්ට නැඹුරු වූ තරුණයින්ගේ සංඛ්‍යාව 500කට අඩු සංඛ්‍යාවක් බව කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් රිස්වි මුෆ්ති මව්ලවි පැවසුවේය.

Read more

Local News