විදෙස් රටවල සිටින දරුවන්ට සාපෙළ හා උපෙළ ලියන්න පුළුවන්

Share

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම  පෙනීසිටීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

අනාගතය අධ්‍යාපනය මත පදනම්ව  පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන  සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේ නම් බොහෝ වෙනස්කම් සිදුකළ  හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව නවීකරණය සඳහා 2017 ඔක්තොම්බරයේදී පත්කරන ලද විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ(11) සවස පැවති උත්සවය අමතමිනි.

විභාග දෙපාර්තමේන්තුව ඉතා විශ්වසනීය ස්ථානයක් විය යුතු බවත් ඒ සඳහා බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා විවිධ පෞද්ගලික මැදිහත්වීම් හැකිතරම් අවම විය යුතු අතර ඒ වෙනුවෙන් විධිමත් ක්‍රමවේද ඇති කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ප්‍රශ්න පත්‍ර සකස්  කරන විද්වතුන් වෘත්තීය හා සාරධර්ම ආරක්ෂා කරන පිරිසක් විය යුතු බවත් විභාගයක් යනු අධ්‍යාපනයේ කිසියම් කඩඉමක් වන බවත් හෙතෙම සඳහන් කළේය.

විභාග ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් සෑම දෙනකුටම ඉදිරියට පැමිණිය හැකි බවත්  අධ්‍යාපනය ටියුෂන් පන්ති මත තීරණය කිරීමට සිදුවී තිබීම ගැනත් පියවර ගත යුතුව ඇති  බවද අවධාරණය කළේය.

වූ ටැබ් පරිගණක ලබා දීමට වැඩසටන කෙසේ හෝ ක්‍රියාවට නංවන බවත්  අධ්‍යාපන පද්ධතියේ ගුරුවරුන් බඳවා ගැනීමේ සිට මානව හා භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම විෂයමාලා කාලීනව සංශෝධනය කිරීම ආදී ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුකොටගෙන අධ්‍යාපන පද්ධතියේ බොහෝ අඩුපාඩු සමනයවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකට ඔවුන් පදිංචි රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් පෙනී සිටීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන බවද  පැවැසීය.

Read more

Local News