සෙනරත්ගේ නඩුවට අදාළ අවසන් දේශන අද හතරවන දිනටත්

Share

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළ අවසන් දේශන අද(12) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ හතරවන දිනයේත් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම දේශන ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව නඩුවේ පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් අද හතරවන දිනටත් සිය දේශන ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබීය.

වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන 14 වනදා දක්වා කල් තැබුණු අතර එදින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් වැඩිදුර දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

එහෙත් මෙම නඩුවේ විභාගය අවසන් වීමෙන් පසුව නිල් බණ්ඩාර හපුහින්න නමැති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉකුත් දා නියෝග කළේය.

ඉන් අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

Read more

Local News