මහින්දානන්දට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 15දා

Share

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

එහිදී ලංකා බැංකුවේ පාර්ලිමේන්තුව ශාඛාවේ සේවය කළ බැංකුව නිලධාරියෙකු වන රොහාන් ඕවිටිගල මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් නගන ලද හරස් ප්‍රශ්නවලට ද සාක්ෂිකරු පිළිතුරු ලබාදුන්නේය.

අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම ඔක්තෝම්බර් මස 15 වන දාට කල් තැබුණි.

පසුගිය රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Read more

Local News