මහජන දිනය දා නිවාඩු නොගෙන ජනතාවට සේවය කරන්න

Share

අධ්‍යාපනයට අදාළ විවිධ ගැටලු විසඳා ගැනීමේ අරමුණින් මහජන දිනය දා, බදාදා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරදීම සඳහාම කැප වී කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ  අකිල විරාජ් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දි  ඇත.

අමාත්‍යවරයා එම උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මහජන දිනය දා නිවාඩු ලබා නොගෙන ජනතාව වෙනුවෙන් රාජකාරියට වාර්තා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතා ගැටලු විසඳීම හැර එදින වෙනත් රැස්වීම් සාකච්ඡා යනාදී කටයුතු යොදා නොගත යුතු බවටද  නිලධාරීන්ට උපදෙස් දි ඇත.

සිය දෛනික කටයුතු නවතා දුර බැහැර සිට ඇතැම් විට රුපියල් දහස් ගණනක් වියදම් කර ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවට එදිනම නිවැරැදි විසඳුම ලබා නොදී තවත් දිනකට කල් දැමීමෙන් ඔවුන් නොසතුටට පත්වන ආකාරය ද අමාත්‍යවරයා මෙහිදි නිලධාරීන්ට  පැහැදිලි කළේය.

තම ගැටලු හා ප්‍රශ්න සඳහා නිවැරැදි විසඳුම හා උත්තර නොලැබීම නිසා සමහර අවස්ථාවලදී ජනතාව කෝපයට පත් වී ක්‍රියාකළ ආකාරය ද නිලධාරීන් ට සිහිපත් කර දුන් අමාත්‍යවරයා ජනතා අපේක්ෂා කඩ කිරීමෙන් ඔවුන් තුළ වෛර සහගත හැඟීම් ජනිතවන බැවින්, එවැනි අවස්ථා සඳහා ඉඩහසර ලබා නොදීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

අන්තර්ජාල online ක්‍රමය භාවිතයෙන් පැය 24ක අවම කාලයක් හා පැය 48ක උපරිම කාලයක් තුළ විභාග සහතික තැපැල් මගින් නිවසට ම ලැබෙන්නට සැලැස්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව ආරම්භ කළ නව වැඩපිළිවෙළෙහි ප්‍රමුඛ අරමුණ ජනතාවට කඩිනමින් හා අඩු පිරිවැයකින් සේවා සැපයීම බව ද අමාත්‍යවරයා පැහැදිලි කළ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද ඉදිරියේ දී මෙවැනිම කඩිනම් සේවයක් සලසාදීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අවධාරණය කළේය.

Read more

Local News