ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට කටයුතු කරන අය රෝගී වූ විට ජාති, ආගම් භේද නොබලන බව සජිත් කියයි

Share

ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට කටයුතු කරන පුද්ගලයින් රෝගී වූ විට ජාති, ආගම් භේද නොබලා හොඳම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන තම ජිවිතය රැක ගැනීමට කටයුතු කරන බවත්, රෝගී ජිවිත බේරා ගැනීමේදී ජාතිය ආගම නොසලකන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෙනහළු, වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලදී ජාතිය කුමක්ද, ආගම කුමක්ද කියා සොයා නොබලන බවත් එහිදී වැදගත් වනුයේ රුධිර වර්ගය පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටතුළ ජාති භේද ආගම් භේද වපුරන කාඩ් බෝඩ් බෞද්ධයින් රෝගී වූ විට සිංගප්පුරුවට ගොස් දමිළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගෙන නැවත මෙරටට පැමිණ ද්‍රවිඩ ජාතිය භංග වේවා යනුවෙන් පැවසීම තරම් නින්දිත ක්‍රියාවක් තවත් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතින් අතර අසමගිය ඇති කිරීමට කටයුතු කරනු ලබන්නේ ජනතාවට සේවය කිරීමට නොහැකි අලස දේශපාලඥයින් විසින් බවත්, ජාතීන් අතර අසමගිය ඇති වූ විට රට තුළ කලකෝලහල ඇති වී රටම ගිනිබත් වන බවත් මෙහිදි වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර්පත්තු, මීච්නගර් ප්‍රදේශයේ ඉදිකළ “යූ. එල්. දාවුද් ග්‍රාමම්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ(13) දින සහභාගී වෙමිණි.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 202 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“යූ. එල්. දාවුද් ග්‍රාමම්” උදා ගම්මානය නිවාස 25 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 714 කි.

පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.

Read more

Local News