බී ළූණු ආනයනකරුවන් සහ බී ළූණු ගොවියන් අතර ගිවිසුමක්

Share

මින් ඉදිරියට දේශීය බී ළූණු ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමෙන් තොරව ආනයනකරුවන්ට බී ළූණු ආනයනය සඳහා අවසර නොදෙන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිතමු කාන්තා ගොවි සංවිධානයන්හි කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“රටේ බී ළූනු ගොවියාගේ මැසිවිල්ලක් තියෙනවා හැමදාම බී ළූණු විකුණගන්න බෑ කියලා. නමුත් මේ තත්ත්වය උදා වුණේ කොහොමද කියලා අපි හොයා බැලුවා.

මෙතෙක් පැවති රජයන් බී ළූනු ගොවියා අස්වැන්න නෙලන කාලයට පිටරටින් ගෙන්වන්න අවසරය ලබා දෙනවා. රටේ දේශීය බී ළූනු වෙනුවට විදේශීය බී ළූනු වෙළෙඳපොළට එනවා.

ගොවියා අමාරුවේ වැටෙනවා. මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට තීරණයක් ගත්තා, අපේ රටේ බී ළූණු වගාව ආරම්භ කරන සමයේම බී ළූණු සඳහා ආනයන බදු වැඩි කරන්න.

ආනයනික බී ළූණු කිලෝවක මිල දැන් රුපියල් 120ක් විතර වෙලා. අපි රුපියල් 40ක් බදු වැඩි කළා. අපේ රටේ දේශීය බී ළූණු කිලෝවක මිල රුපියල් 80යි.

එහෙම වූණාම වැඩි මිලට බී ළූනු ආනයනය කරලා වැඩක් නෑ. අපේ රටේ වෙළෙන්දෝ ඒ නිසා දේශීය බී ළූණු මිලදී ගන්න පටන් ගන්නවා.

බී ළූනු මෙරටට ආනයනය කරන තොග වෙළෙදුන් 100ක් පමණ ඉන්නවා. බී ළූණු වගා කරන ගොවින් 1000කට වැඩි පිරිසක් ඉන්නවා. එම ගොවීන් සහ ආනයනකරුවන් අතර ඉදිරියේ දී අපි පොදු ගිවිසුමකට එනවා.

ආසන්න වශයෙන් එක ආනයනකරුවෙක් ගොවීන් 10දෙනෙකුට වැඩි පිරිසකගෙන් බී ළූණු තොග මිලදී ගත යුතුයි. අපේ රටේ අස්වැන්න නෙලන කාලයට මේ ආනයනකරුවන් දේශීය බී ළූනු අස්වැන්න මිලදී ගත යුතුයි.

එසේ නොකරන අයට එරෙහිව නීත්‍යානූකූලව කටයුතු කිරීමටත්, ආනයනය කිරීමට අවසර නොදීමටත් කටයුතු කරනවා. එමඟින් දේශීය බී ළූනු ගොවියා ආරක්ෂා කිරීමට හැකියාවක් ඇති බව අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම රටකජු, අර්තාපල්, සෝයා ඇතුළු ආනයනික බෝග සහ ධාන්‍ය ඉදිරියේ දී ආනයනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ ද එම ආනයනකරුවන් විසින් එම නිෂ්පාදන මිලදී ගැනීමෙන් පමණක් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News