ලක්සල හිටපු සභාපති අනිල්ගේ නඩුව 20 දාට කල් යයි

Share

ලක්සල ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක විභාගය මේ මස 20 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව විත්තිකාර අනිල් කොස්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ මූලික විරෝධතාව ලබන 20 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරිය විත්තිකරුගේ නීතිඥවරයාට නියම කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා වෙනුවෙන් පනවා තිබෙන විදේශ ගමන් තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීම් කළේය.

එම ඉල්ලීමට අදාළ සවිස්තර කරුණු දැක්වීමක් මීළඟ නඩු දිනය ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත්වරිය එම විත්තියෙන් නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

ඉකුත් රජය සමයේ ජාතික කෞතුකාගාර භූමියේ ලක්සල අලෙවි කුටි ඉදි කිරීමේ ක්‍රියාදාමයේ දී නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව එම කටයුතු ඉටු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එම ආයතනයේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

Read more

Local News