රාවනා 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කරයි

Share

ශ්‍රී ලංකාවේ නාමය ගෝලීය අභ්‍යවකාශ යුගයේ සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට නියමිත ය.

රාවනා 1 චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිඳු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ විසිනි.

ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුර ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර තිබේ.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ මෙරට වේලාවෙන් සවස 3.45 ට කක්ෂගත කිරීමට නියමිත බවයි.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට පැමිණිමෙන් එම අවස්ථාව සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවන බවද ඔහු පැවසීය.

නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනියාහි පිහිටි මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ තොටුපළෙන් අප්‍රේල් මස 18 වන දා රාවනා 1 අභ්‍යවකාශගත කෙරුණේ ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙනි.

අප්‍රේල් 19 වැනිදා පස්වරු 6 30 ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවිය.

Read more

Local News