ගෝඨාගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි

Share

තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ගෙන ඇති තීරණයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට පියවර ගන්නේ නම් එම විරෝධතා පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බලන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද  සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලිමක් කර තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන්  නියෝගයකට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද බුවනෙක අලුවිහාරේ, එල්. ටී.බී. දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

එම නිසා එම පෙත්සම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු  දන්වා සිටියේය.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ නීතිපතිවරයා මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය සලකා බැලීම සුදුසු බවයි.

ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා තීන්දුවක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 18 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා  අධිකරණය හමුවේ කියා සිටින්නේ   ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය පැවරී තිබෙන්නේ බරපතළ ආර්ථික වැරදි සහ මූල්‍ය අපරාධ පිළිබඳ නඩු විභාග කිරීමට පමණක් බවත්  තමන්ට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව එවැනි ගණයට අයත් නොවන නඩුවක් බැවින් එය විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

එහෙත් එම මූලික විරෝධතාව විශේෂ මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් මෙම  පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා  වැඩිදුරටත් අයැද සිටියේය.

Read more

Local News