මම මාධ්‍ය මර්දනය, ජනතා මර්දනය කරන්නේ නෑ

Share

අද මේ රටේ රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම සුරක්ෂා රක්ෂණාවරණය රජය විසින් නොමිලේ ලබා දෙන බවත්, ඒ යටතේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රුපියල් තුන්දහසක් ඇතුලුව ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් හිමිවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

එමෙන්ම සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන් රජය දරන මුදලින් 75% ක් සිසුන්ට ගෙවා නොමැති නම්, ඒ දක්වා මුදල නැවත රජයට ලබා දිය යුතු බවට විශේෂ කොන්දේසියක් රක්ෂණ සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුමට ඇතුළත් කළ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ වත්මන් රජය බලයට පැමිණීමට පෙර පහළ මට්ටමක තිබුණ පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ මූලික වැටුප ඉහළ දැමූ බවත්ය.

එමෙන්ම විදුහල්පති දීමනාව ද ඉහළ නැංවීමට හැකි වූ බව කියා සිටි අමාත්‍යවරයා පෙර කාලසීමාවට සාපේක්ෂව මේ රටේ මෙවන් සාධනීය වර්ධනයක් ඉතිහාසයේ සිදු නොවූ බව පවසා සිටියේය.

සංවර්ධනය පමණක් සිදු කරන අතර සංදර්ශන නොකරන බව කියා සිටි අමාත්‍යතුමා මාධ්‍ය මර්දනය, ජනතා මර්දනය සිදු නොකරන බවත්, ඉදිරි මැතිවරණයේ දී පොදු ලකුණකින් ජයග්‍රහණය සඳහා පක්ෂය මෙහෙයවන බව වැඩිදුරටත් කියා සිටියේය.

එතුමන් මෙම අදහස් පවසා සිටියේ පසුගියදා “ළඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ පොතුහැර දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ මහව සහ කුරුණෑගල අධ්‍යාපන කලාපවල පාසල් 20 ක් සඳහා රුපියල් මිලියන 387 ක වියදමින් නවීන ගොඩනැඟිලි සහ පහසුකම් සිසු අයිතියට පැවරීම  සිදු කර තිබේ.

Read more

Local News