චීන දුම්වැටි ආනයනය කරන්න එපා

Share

චීන දුම්වැටි ශ්‍රී ලංකාවට ගෙන්වීමේ අගතිගාමී තීරණය හදිසි අවශ්‍යතාවයක් ලෙස සළකා නතර කිරීමට ක්‍රියා කරන ලෙසත්, දුම්කොළ සහ දුම්වැටි ආශ්‍රීත නිෂ්පාදන සදහා නව දොරටු විවෘත නොකරන ලෙසත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකොන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

චීන දුම්වැටි ශ්‍රී ලංකාවට ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාදීමට සැළසිම තුලින් සිදුවන හානි පිළිබදව අධිකාරියේ කරුණු ඉදිරිපත් කරමින් සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වෙයි.

එම නිවේදනයේ දැක්වෙන පරිදි කරුණු පහත සදහන්ව ඇත.

01.  විදේශීය රටක දුම්වැටි ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට බලපත් නිකුත් කිරිම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ සැළැස්මක් ඇත. එය දුම්වැටි, දුම්කොළ ආශ්‍රීත නිෂ්පාදන රට තුල භාවිත වීම වැළැක්විම සදහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් දුර්වල කිරිමට ඉවහල්වන බරපතල ප්‍රතිගාමී තීරණයකි.

02.  වත්මන් රජයේ ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා දුම්කොළ සහ දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදන තුලින් ජනතාව බේරා ගැනීමට විශාල කැපකිරීමක් මෙන්ම අතිවිශාල සම්පත් ආයෝජනයක් ද සිදු කර ඇත. පසුගිය වසර 04 තුල ඒ සදහා ප්‍රතිපත්තිමය තින්දු තීරණ ගනිමින් ක්‍රියාමාර්ග රැසක් මෙන්ම නීතිරීති පනවමින් කටයුතු කිරිම අගය කළ යුතු කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුල දුම්වැටි භාවිතය අඩු වී ඇත. චින දුම්වැටි ආනයනය කිරිම සදහා බලපත්‍ර ලබාදීම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක  කළ වැඩපිළිවෙලට විරුද්ධ වනවා සේම එහි ප්‍රතිඵල වලට ද හානිකර තීරණයකි.

03.  නව දුම්වැටි ආනයන බලපත්‍ර  ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ ආදායම වැඩිකර ගැනීමයි. ඊට වඩා පහසුවෙන් ආදායම වැඩිකර ගැනීමට නම් දුම්කොළ කර්මාන්තය සදහා යුක්ති සහගත බදු ප්‍රතිපත්තියක් පැනවිය යුතුය. වර්තමානය වන විට මුදල් අමාත්‍යාංශය විසින් දුම්කොළ කර්මාන්තය වෙත පනවා ඇති වැරදි සහගත සහ අයුක්ති සහගත බදු හේතුවෙන් රජයට විශාල ආදායමක් අහිමිව ගොස් ඇත. ගණනය කිරිම් අනුව පසුගිය වසර 05 ක කාලය තුල දි මෙම වැරදි බදු ප්‍රතිපත්තිය නිසා රජයට රුපියල් බිලියන 100 කට වැඩි ආදායමක් අහිමි වී තිබේ. ඒ අනුව රජයේ ආදායම වැඩිකර ගැනීම සදහා මුදල් අමාත්‍යාංශයට ඇති සුදුසුම විකල්පය වන්නේ දුම්කොළ මත නිවැරදි බදු පැනවීමයි.

04.  දුම්කොළ සහ දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදන භාවිතය සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිදුභාවය වැඩි කිරිමට තවත් හේතුවෙයි. එම නිෂ්පාදන පහළ යාම තුලින් පහළ සමාජ මට්ටම් ආර්ථිකයක් ඇති වී ජනතාවගේ ආදායම ඉහළ යනු ඇත. නව චීන දුම්වැටි ආනයනය කිරිම තුලින් රටක් ලෙස අත්පත් කරගෙන ඇති ධනාත්මක තත්ත්වය යළි හැරවීමකි. ලෝක බැංකුව පවා සංවර්ධනය වෙමින් පවතින රටවල රජයන් අධෛර්යට පත් කිරිමට දුම්කොළ කර්මාන්තයට හැකියාව ඇති බවත් එය රටේ ආර්ථිකයට හානිකරන බවත් පෙන්වා දෙයි.

05.   ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව කළ ගණනය කිරිම් තුලින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය මත වන වැයවිම් ඊට අදාල බදු උපයන ගැනීම් වලට වඩා දෙගුණයක් ඉක්මවයි. රටේ ආර්ථිකය වර්ධනය කිරිම සදහා දුම්කොළ කර්මාන්තයෙන් සිදු කළ නොහැක. චීන සිගරට් ආනයනය කිරිම තුලින් බලාපොරොත්තුවන සිතුවිල්ලට වඩා ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ලැබෙයි.

06.  දුම්කොළ භාවිත වසංගතය මර්දනය කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය දුම්කොළ පාලනය පිළිබද මූලික ප්‍රඥප්තියක් ස්ථාපිත කර තිබේ. එයට ශ්‍රී ලංකාව ද අත්සන් කර ඇති අතර, එහි ප්‍රධාන පෙළේ සළකුණක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වයි. මෙම ප්‍රඥප්තිය හදුන්වාදීමට හේතු වූ ප්‍රධාන කරුණක් වන්නේ එමගින් ආර්ථිකයට කරන අයහපත් බලපෑමයි. ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව ධනාත්මක මට්ටමින් ක්‍රියාත්මක කර ඇති මොහොතක නව තීරණය තුලින් ප්‍රඥප්තියේ නිර්දේශ සම්පූර්ණයෙන්ම විනාශ වෙයි.

07.  රූපමය අවවාද සියයට 80 ක් දුම්වැටි අසුරන මත පනවන සමයේ දී දැනට පවතින දුම්කොළ සමාගමේ ආදායම පහත වැටෙන තත්ත්වයක් දක්නට ලැබුනි. එම සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැසට් නිවේදනයට එරෙහිව කටයුතු කරන ලදි. එම නිසා නිති පැනවීමට වසර 03 ක් ගතවිය. බහුජාතික සමාගම් මෙවැනි රටවල දැනට පවතින තත්ත්වය මැඩපවත්වා ගනිමින් නව දොරටු විවර කර ගැනීමට උත්සාහ දැරීම නව තීරණය හොදම සාක්ෂියකි.

08.   ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයින්ගේ යහපැවැත්ම පිළිබදව රජය දක්වන අවධානයට හොදම විසදුම වන්නේ දුම්වැටි භාවිතය අඩු කිරීමයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට සහයෝගය ලබාදීමට වඩා රෝගී වූ පසු සෞඛ්‍ය ප්‍රතිකාර කිරීමට මුදල් වැය වෙයි. එම නිසා දුම්වැටි භාවිතය අධෛර්යමත් කළ යුතුයි. දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් ශ්‍රම බලකාය ද ජීවිතක්ෂයට පත්වෙයි. ජනතාවාදී රජයකට දුම්කොළ භාවිතය ධෛර්මත් කිරීමට තීරණ ගත නොහැක.

09.   ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ  සංවර්ධන ව්‍යාපෘති චීන ආධාර යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පවතින තත්ත්වය සළකා බලා චීන දුම්වැටි මත නිසි බදු පැනවීමට බලපෑම් කළ හැකිය. නමුත් ශ්‍රී ලංකාවේ තාවකාලිකව රැදී සිටින චින ජනතාව වෙනුවෙන් දුම්වැටි ආනයනය කිරිම අනුමත කිරිම ශ්‍රී ලාංකිකයින් රැවටීමකි.

10.  ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව චීන ජාතිකයින්ගේ සෞඛ්‍ය, සමාජ, ආර්ථික වර්ධනය පිළිබද පුළුල් උපදේශණයක් හෝ දැක්මක් නොමැතිව මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකාව දුම්කොළ වලින් තොර රටක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීරණය නතර කිරීමට මෙමගින් හැකියාව ඇති බව ද පෙන්වා දිය යුතුය.

Read more

Local News