උගතුන්ගෙන් සමන්විත දේශපාලනයක් මෙරට ස්ථාපිත කළ යුතුයි

Share

උගතුන්ගෙන් සමන්විත වෘත්තීය මට්ටමේ දේශපාලනයක් මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙම අදහස් පළ කර සිටියේ ජාතික මග කුරුණෑගල මහ සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මේ බව පැවසීය.

“අද මේ රටේ ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ ඉහළම 10 දෙනා ගන්න. ඒ අයගේ අම්මා තාත්තලා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔවුන් දහ දෙනාම තමන්ගේ ස්ව ශක්තියෙන් ඉහළට ආපු අය.

පරිපාලන සේවයේ ඉහළම දහ දෙනා ගත්තත් ඔවුන්ගේ දෙමාපියන්ගේ නම් විකුණලා ආපු අය නෙමෙයි. එම දහ දෙනාම කුසලතාවයෙන් ඉහළට ආපු අය.

ඉහළම වෛද්‍යවරු දහ දෙනා ගන්න, ඉහළම ඉංජිනේරුවෝ දහදෙනා ගන්න, ඉහළම නඩු කාරයෝ, නීතීඥයෝ, ආරක්‍ෂක අංශවල ඉහළම ඉන්න අය මේ හැමෝම කුසලතාවයෙන් ඉහළට ආපු අය.

කී‍්‍රඩාවේ, කලාවේ එහෙමයි. හැබැයි දේශපාලනයේ විතරක් කුසලතාවයට තැනැක් නැහැ. අපේ කලාපයේ සිංගප්පූරුව, ජපානය, චීනය මේ හැම රටක්ම ඉහළට ගිහින් තිබෙන්නේ දේශපාලනයට, කුසලතාවයට මුල්තැන දීමෙන්.

ඒ නිසා අතීතයේ සිටියා බලගතු සතෙක් ඩයිනෝසර් කියලා. අපේ රටෙත් හිටියා ගවරා කියලා සතෙක්, ගවරගිරිය, ගවරවිල මේ නොයෙක් නම් ඇතිවෙලා තිබෙන්නේ ගවරා නිසා. ගවරා වඳවුණා.

මොකද සුද්දා ඇති කළ ඒ නවීකාරක වතු යායවල්වලට, ආර්ථික ක‍්‍රමයට ගවරා ගැලපුනේ නැහැ. ඒ නිසා ගවරා වඳවෙලා ගියා. හැබැයි ලංකාවේ නිදහසට පෙර සිට හරියට ගත්තොත් දේශපාලනයේ මුල් පෙලේ ඉන්න ගවර පන්තිය වඳවෙලා නැහැ මිත‍්‍රවරුණි. ඒ ගවර පන්තිය තමයි ඉදිරියෙන්ම යන්නේ. ඒ අය ලේසියෙන් වඳවෙන්නෙත් නැහැ.

ඒ නිසා අපි මතක තබා ගත යුතුයි දැන්වත් මේ රටේ බුද්ධිමත් පිරිස හැටියට මේ දේශපාලන ගවර පන්තිය ලේසියෙන් වඳවෙලා යන්නේ නැහැ.

වේදිකාවෙන් බහින්නේ නැහැ. අපි දැන්වත් අධිෂ්ඨාන කර ගත යුතුයි, මේ පන්තිය වෙනුවට වැඩ කරන්න පුළුවන්, වෘත්තීය මට්ටමේ සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, ජාතිය වේවා, ආගම වේවා මේ එකක්වත් වැදගත් නැහැ. රටට කුසලතාවයෙන්, නිපුණතාවයෙන් යුතු අලූත් දේශපාලන පන්තියක් ගෙන එන්න අපි අධිෂ්ඨාන කර ගත යුතු යැයි පැවසීය.“

Read more

Local News